අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

1728888985-arjun-aloysius-6

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුකරය මේ වනවිට අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති නිසා ඔවුන් ඇපමත මුදාහරින ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිට තිබෙනවා.

කෙසේවෙතත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සඳහන් කළේ, මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් බවයි.

ඒ අනුව විකල්ප දඬුවමක් වන හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.