මූල්‍ය වංචාවලට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 15 ක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

මූල්‍ය වංචා සිදුවීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) දින සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට පෙර පසුගිය 12 වනදා දහවල් කාලයේ දී පල්ලෙකැලේ නත්තරන්පොත ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 126 ක්, වියට්නාම ජාතිකයින් 02 ක්, තායිලන්ත ජාතිකයෙකු හා පිලිපින් ජාතිකයෙකු ඇතුළු විදේශ ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊයේ දිනයේ අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිස නත්තරන්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස සමග සම්බන්ධතාවයක් පවතිද යන්න පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.