නිලන්ත ජයවර්ධන වන්දි මුදල් ගෙවා අවසන් කරයි

court-2

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ රුපියල් මිලියන 75 ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (07) අධිකරණයට දැනුම්දී තිබෙනවා.

එම නඩුකරය අද (07) කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පසුගියදා නිකුත් කළ නොතීසියකට අනුව නිලන්ත ජයවර්ධන අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව නියම වූ වන්දි මුදල් ගෙවා අවසන් නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් සිදු කර ඇති පැමිණිල්ලට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

පසුව අද දිනය තුළ වන්දි මුදල ගෙවීම සඳහා ඔවුන් අවසර ඉල්ලා සිටි පසුව වන්දි මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් නඩුව පස්වරු 1.30 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල නියෝග කළ අතර, ඒ අනුව වන්දි මුදල් ගෙවූ බවට වන ලේඛන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යළි නොවැම්බර් මස 18 වනදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.