ලංකාවේ පළමු වතාවට උතු​රේ නැගෙනහිර හා දකුණේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් නිර්මාණය වෙනවා – අනුර

anura-kumara-32

සියවස් ගණනාවකට පසු ලංකාවේ පළමු වතාවට උතුර, නැගෙනහිර හා දකුණේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ලද ආණ්ඩුවක් නිර්මාණය වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙය නායකයෙක්ගෙන් නායකයෙකුට බලය හුවමාරුවක් නොව, රටේ සමාජ ආර්ථික දේහයේ විශාලතම පරිවර්තනය බවයි ඊයේ (18) නුගේගොඩ පැවති අවසන් මහා ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ.

දිගු ගමනක ආරම්භක පියවර ලෙස සැප්තැම්බර් 21 වනදා පොදු ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනඟන බවත්, ඉන් පසු පියවරෙන් පියවර රට ගොඩනැගීම ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළා.

ප්‍රතිවාදීන් සිය ජයග්‍රහණය වෙනුවෙන් ජාතිවාදය හා ආගම්වාදය ප්‍රචාරය කරමින් සිටි බවත්, ජනාධිපතිවරණයෙන් පසුව ජාතිවාදය උසි ගැන්වෙන, උඩගෙඩි දෙන, අනෙකා නොසලකා හරින ප්‍රකාශවලට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ඉඩ නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවත්, ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේ.