සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි – සංචාරක ලේකම්

tourism-srilanka

මෙම වසරේ ජූලි 15 වනදා වන විට විදෙස් සංචාරකයින් 1,095,675 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.

ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ යළි පිබිදීමක් දක්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත්, යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2024 ජනවාරි  සිට ජූනි දක්වා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 1556.64 ක ආදායමක්  උපයා තිබෙන බවද, මේ වන විට රටේ පවතින තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් 2024 වසර අවසන් වන විට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාවත්, ඒ හරහා  ලබන ආදායමත් අනිවාර්යයෙන් 2018  ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැකි බවද ලේකම්වරයා පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රහාරය, COVID-19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමකට මුහුණ දී තිබුණු නමුත්, එම අභියෝග මධ්‍යයේ වුවත් සංචාරක අංශය දැන් පිබිදීමේ ලකුණු පෙන්නුම් කර බවද ලේකම්වරයා සඳහන් කරනවා.