2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 767.9 ක ඉහළ අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එය පසුගිය වසරට සාපේක්ෂව 19% ක වර්ධනයක් වන අතර, 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 646ක් බව සඳහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව 2026 වසරේ මුල් මාස හතර තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 3,062.8 ක විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට හිමිව ඇත.
ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති විදේශ ප්‍රතිපත්ති අනුව විදේශ රටවල් සමග අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම, පුහුණු ශ්‍රමිකයින්ට නව රැකියා වෙළෙඳපොළ හඳුන්වා දීම සහ විදේශ ශ්‍රමිකයන් හට සුභසාධන ප්‍රතිලාභ ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රමවේදයන් හරහා ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදෙස් රැකියාවල නිරත වීමට පෙළඹී ඇත.
ඒ අනුව 2026 මුල් මාස හතර තුළ විදේශ ගත වූ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය 79,954 ක් වන අතර එයින් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සඳහා පිටත්ව ගිය පිරිස බව සඳහන් වේ.
එම පිරිස 17,012 ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
එමෙන්ම අමෙරිකානු ඩොලර් බිලියන 8කට අධික වූ ශ්‍රී ලංකා ඉතිහාසගත වැඩිම විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් 2025 වර්ෂය තුළ වාර්තාවීමද සුවිශේෂි කරුණක් බව පැවසේ.

