සංවිධානාත්මක අපරාධකරුවන්ට සහාය වූ ඉඩම් රෙජිස්‌ට්‍රාර්වරිය CID අත්අඩංගුවට……

Arrest

සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය වෙමින් ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ඉඩම් බැහැර කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත ඉඩම් රෙජිස්‌ට්‍රාර්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මූල්‍ය අපරාධ විර්මශන ඒකකය මඟින් සිදුකරන ලද දීර්ඝ විර්මශනයකට අදාළව ඊයේ (07) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකාරිය කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයක සේවය කරමින් එහි පවතින පත්තිරු සහ වෙළුම් ඔප්පුවල දෙවන පිටපත් බාහිර පාර්ශවයන් වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ සඳහා සෘජුවම ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම, නීත්‍යානුකූල අයිතිකරුවන් නොදැනුවත්ව ව්‍යාජ ලේඛන සකස් කොට, අදාළ ඉඩම් වෙනත් පාර්ශවයන් වෙත බැහැර කිරීමට කටයුතු කිරීම ඇයට එල්ල වල අනෙකුත් චෝදනා වේ.

අත්අඩංගුවට පත් සැකකාරිය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි.

ඇය කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයක ඉඩම් රෙජිස්‌ට්‍රාර්වරියක වශයෙන් කටයුතු කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මූල්‍ය අපරාධ විර්මශන ඒකකය විසින් වැඩිදුර විර්මශන කටයුතු සිදුකරනු ලබයි.