වසර නවයක් පුරා පානීය ජලය ඇතුළු සිය ජල අවශ්‍යතා වැසි ජලයෙන් සපුරාගන්නා ගම්මානයක් පිළිබඳ අද දෙරණට වාර්තා වී තිබේ.
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයට 2017 වසරේදී බලපෑ මහ ගංවතුරින් සහ නායයාම්වලින් නිවාස සහ දේපල විනාශ වූ ජනතාව පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත පැල්මඩුල්ල නව මිණිපුර ගම්මානයේ පදිංචි කරවා ඇත.
ඒ අනුව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් තුනක පවුල් හැටක ප්‍රමාණයකට නව මිණිපුර ගම්මානයේ ඉඩම් ලබා දී ඇත්තේ නිවාස තනා ගැනීම සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂ දහසයක මුදලක් ලබාදෙන බව පවසමිනි.
එම මුදල වාරික වශයෙන් එක් එක් පවුල් සඳහා විවිධ ප්‍රමාණයන්ගෙන් ලැබී ඇති අතර ලැබුණු මුදල අනුව ගම්වැසියන් සිය නිවාස ඉදිකරගෙන තිබේ.
කෙසේවෙතත් ලැබුණු එම මුදල ප්‍රමාණවත් නොවීම මත අඩක් නිම කළ මෙම නිවාස තුළ ගම්වැසියන් ගත කරන්නේ ඉතා දුක්ඛිත ජීවිතයකි.
සියලු යටිතල පහසුකම් සහිතව යහපත් ජීවිතයක් ගත කළ මෙම ගම්වාසීන්ට අද වනවිට සිය පරිභෝජන කටයුතු සඳහා වැසි ජලය රැස්කර ගැනීමට සිදුව ඇත.
වසර නවයක් පුරා ගම්මානයට නිසි මාර්ග පද්ධතියක්, ජලනල පද්ධතියක් වැනි මූලික පහසුකම් හෝ නොමැතිව අති දුෂ්කර ජීවිතයක් ගත කරන මෙම ජනතාව අදාළ බලධාරීන්ගේ අවධානය තම ගැටලු වෙත කඩිනමින් යොමුවෙතැයි බලාපොරොත්තු පිරි දෑසින් බලා සිටී.

