ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ධාගරියන් (Levan S. Dzhagaryan) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පවත්වා තිබේ.
මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දශක ගණනාවක් පුරා පවතින සුහද සහ ශක්තිමත් මිත්‍ර සබඳතා සිහිපත් කළ අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සපිරීම ලබන වසරේදී සමරනු ලබන බව ද සඳහන් කළේය.
එමෙන්ම, ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකාවට රුසියාව විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳ ද ජගත් වික්‍රමරත්න මහතා සිය කෘතඥතාව පළ කර තිබේ.
විවිධ ක්ෂේත්‍රවලදී රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති වටිනා දායකත්වය ද එහිදී ඇගයීමට ලක් කෙරුණි.
තවද, ශ්‍රී ලංකා තේ සඳහා ප්‍රධාන ආනයනකරුවන් අතර රුසියාවට හිමි ස්ථානය අගය කළ කථානායකවරයා, බලශක්ති ක්ෂේත්‍රයේ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් රුසියානු තානාපතිවරයා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවතින බව අවධාරණය කළ බව සඳහන්ය.
ශ්‍රී ලංකාවෙන් හිමිවූ දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගය වෙනුවෙන් කථානායකවරයාට සිය ස්තුතියද පළ කළේය.
පාර්ලිමේන්තු මට්ටමේ සබඳතා තවදුරටත් වර්ධනය කිරීම මෙන්ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර හුවමාරු වැඩසටහන් පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව ද තානාපතිවරයාගේ අවධානය යොමු විය.
මෙම හමුවේදී දෙපාර්ශ්වයම වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය, පාර්ලිමේන්තු සබඳතා සහ හුවමාරු වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය යහපත උදෙසා කටයුතු කිරීමට සිය කැපවීම යළි තහවුරු කළහ.

