ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ අරමුණින්, සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම සඳහා වන ජාතික වැඩපිළිවෙලේ මූලික පියවර ආරම්භ කර තිබේ.
ඒ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැත්විණි.
ගෝලීය තාක්ෂණික ප්‍රවණතා සමඟ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සේවා ප්‍රමාදයන් අවම කිරීම සහ නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන ඇත.
රාජ්‍ය සේවය පුද්ගලයන් මත පදනම් වූ ක්‍රමවේදයකින් පද්ධති මත පදනම් වූ නවීන සේවා සැපයුම් ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තාක්ෂණික භීතිය අවම කරමින් ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම වැඩපිළිවෙළේ ප්‍රමුඛතාවක් වනු ඇත.
ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයන් පුහුණු කිරීම සඳහා ඊ-ඉගෙනුම් පද්ධතියක් භාවිත කිරීමටත්, ජංගම දුරකථන හරහා ලබාගත හැකි කෙටි වීඩියෝ පාඩම් මාලා මගින් Micro-learning ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් යෝජනා වී තිබේ.
මෙම ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා වී ඇත.
එමෙන්ම කාර්යාල සහ පාසල් පරිගණක විද්‍යාගාර පස්වරු කාලයේ පුහුණු කටයුතු සඳහා යොදා ගැනීම, Gamification ක්‍රමවේද සහ ඩිජිටල් අත්සන් සහිත සහතික හඳුන්වා දීම සම්බන්ධයෙන් ද එකඟතාව පළ විය.
මෙම වැඩසටහන දැනට සේවයේ නියුතු නිලධාරීන් පුහුණු කිරීම, නව බඳවා ගැනීම් සඳහා ඩිජිටල් සුදුසුකම් අනිවාර්ය කිරීම සහ පාසල් හා විශ්වවිද්‍යාල විෂයමාලා ඩිජිටල් ආර්ථිකයට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීම යන තෙවැදෑරුම් සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මූලික අදියර ලෙස සයිබර් ආරක්ෂාව පිළිබඳ කෙටි දැනුවත් කිරීමේ පාඨමාලාවක් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා නිල විද්‍යුත් තැපෑල හා සහයෝගීතා මෙවලම් භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට නියමිතය.

