ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් 2025 වසරේ මුල් භාගයේදී පිහිටුවන ලද රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය (RARMB) හරහා මෙරට බදු අනුකූලතාව (Tax Compliance) 40-45% මට්ටමේ සිට 70-75% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බව අනාවරණය වේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් පද්ධතිය නවීකරණය කිරීමේ මධ්‍යකාලීන උපායමාර්ගික සැලැස්ම (MTRS) සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ RARMB කාර්යාංශය අතර ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු හෙළි විය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ RARMB කාර්යාංශය “ශක්තිමත් පාලන රාමුවක් සහිත ප්‍රතිසංස්කරණ කේන්ද්‍රයක්” ලෙස කටයුතු කර ඇති ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ඉහළ ඇගයීමට ලක් වූ අතර, ඉදිරි තාක්ෂණික සහ උපදේශන සහාය අඛණ්ඩව ලබාදීමට ද ඔවුන් එකඟතාව පළ කළහ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ශාඛා නැවත සංවිධානය කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් බදු එකතු කිරීමේ ප්‍රගතිය වේගවත් කර ඇත.
ශ්‍රී ලංකා රේගු නීතිය සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම්පත සකස් කර නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
ඉදිරියේදී බදු ගාස්තු ව්‍යුහය සරල කිරීමට සහ කඩදාසි රහිත (Paperless) ක්‍රමවේද හඳුන්වාදීමට නියමිතය.
නව සුරාබදු කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදෙමින් පවතින අතර, රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර දත්ත හුවමාරුව, ඒකාබද්ධ අවදානම් කළමනාකරණය සහ විගණන එකම ක්‍රමවේදයකට සිදුකිරීමේ ඒකාබද්ධ පද්ධතියක් ද ස්ථාපිත කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ Andrew Killer මහතා ඇතුළු IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් සහ මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් මේ සඳහා සහභාගී වි තිබුණි.

