මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීම සිදුවිය.
එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සී.එස්.එන් රූපවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානී වශයෙන් කටයුතු කළ ද යසාරා අබේනායක කියාසිටියේ තමා සහ විත්තිකාර යෝෂිත රාජපක්ෂ අතර ප්‍රේම සම්බන්ධයක් පැවැති බවත් තමා සී. එස්. එන්. නාලිකාවේ නාලිකා ප්‍රධානී වශයෙන් ක්‍රියාකළ බවයි.
“නමුත් යෝෂිත සමග පැවති සම්බන්ධය ගැලපීමක් නැති බව ගෙවල්වලින් කියාසිටියා. ඒ නිසා එම සම්බන්ධය බිදී ගියා. 2013 වසරේ පමණ තමයි එම සම්බන්ධය අවසන් වුණේ. මෙම නඩුවට පාදක වන දෙහිවල, මිහිදු මාවතේ පිහිටි නිවසට මම ගිහින් තියෙනවා. අපි විවාහ වෙලා එම නිවසේ පදිංචියට යන්නයි හිටියේ. යෝෂිත තමයි මේ ගේ හැදුවේ. මේ ගේ හදන කාලේ යෝෂිත නාවික හමුදාවේ වැඩ කළා. සී. එස්. එන්. නාලිකාවේ වැඩ වලට යෝෂිත උදව් කළා. ” යනුවෙන් සඳහන් කළා.
මෙහිදී යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මතුකළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්ෂිකාරිය මෙම නිවස විශාල නිවසක් බවත් එහි කාමර විශාල සංඛ්‍යාවක් තිබූ බවත් පැවසුවා.
ඉන් අනතුරුව රත්මලාන ප්‍රදේශයේ පදිංචි ලූෂන් රත්නායක නමැත්තා සාක්ෂි දෙමින්,
“රත්මලාන, කෙකටිය පාරේ පිහිටි තම ඉඩමක් විකිණීමට සූදානම් වු බව සඳහන් කළා. මේ ඉඩම පර්චස් 31 ක් පමණ විශාලයි. එය විකිණීමේ කාර්යය මගේ හිතවතෙකු වන වසන්ත කුමාර ජයසූරිය වෙත පැවරුවා. ඔහු ගැනුම්කරුවෙක් අරං ආවා. ඒ ගැනුම්කරු කව්ද කියලා කිව්වේ නෑ.” යනුවෙන් සඳහන් කරමින් සාක්ෂිකරු සිනාසුණේය.
ඒ අවස්ථාවේදී සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමුකළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ” ඇයි ඔබ හිනාවෙන්නේ. ඔබ ඇහැව්වේ නැත්ද ඉඩම ගන්නේ කව්ද කියලා. ” යනුවෙන් විමසුවේය.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු මම ඇහූවේ නෑ” යනුවෙන් සිනාසෙමින් යළි පිළිතුරු දුන්නේය.
යළි සාක්ෂි දුන් සාක්ෂිකරු “මේ ඉඩම විකීණීමට අදාළ ඔප්පු අත්සන් කළේ රාජගිරිය, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ දී. අපේ ගිණුම් වලට මුදල් තැන්පත් කළාට පස්සේ තමයි මේ ඔප්පුව අත්සන් කළේ. රුපියල් මිලියන 34.5 කට තමයි මේ ඉඩම විකිණීම සිදුකළේ. මේ මුදල් තැන්පත් කළේ කව්දැයි මම දන්නේ නෑ. මේ ඉඩමේ ගැනුම්කරු ලෙස සදහන් වුණේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවක්. මේ ඉඩම විකිණීමට වසර දෙකකට පමණ පෙර නිවසේ තිබු බඩු මුට්ටු විකිණීමට අපි ගරාජ් සේල් එකක් දැම්මා. ඒ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ සහ ඇයගේ පෙම්වතිය සමග මේ නිවසට ආවා.” යනුවෙන් කියාසිටියේය.
ඉන් අනතුරුව තවත් සාක්ෂිකරුවකු වන වසන්ත කුමාර ජයසූරිය සාක්ෂි දෙමින්,
“යසාරා අබේනායක මගේ ඥාති දියණියක්. ඇය යෝෂිත රාජපක්ෂ සමග මුදු මාරුකරගෙන විවාහ වෙන්න ඔන්න මෙන්න තමයි තිබුණේ. ඒ අවස්ථාවේදී තමයි ලූෂන් රත්නායකගේ ඉඩම් මිලදී ගන්න යෝෂිත මා සමග සාකච්ඡා කළේ. යෝෂිත රාජපක්ෂ මේ ඉඩම මිලදී ගන්න සූදානම් බව පැවසුවා. ඒ අනුව ඉඩම මිලදී ගැනීමට අදාළ ඔප්පු අත්සන් කළේ රාජගිරියේ, පිහිටි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ දී. එතනට මුදල් අරං ආවේ බෑග්වලින්.ආරක්ෂකයන් වැනි පුද්ගලයින් තමයි මේ මුදල් අරගෙන ආවේ.” යනුවෙන් කියාසිටියේය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 17 වනදා දක්වා කල්තැබිණි.

