මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට……

News Iamges.00_00_00_00.Still2666

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනතා අයිතියට පත් කෙරිණි.

වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍ර, රෝගී වාට්ටු, ඖෂධාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, රසායනාගාර, ලේ බැංකුව ඇතුළු අංශ රැසක් නිරීක්ෂණයට ලක් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 857කට අධික මුදලක් වැය කර ඉදිකර ඇත.

මෙම පස් මහල් ගොඩනැගිල්ලේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු සඳහාත්, දෙවන හා තෙවන මහල් කාන්තා ශල්‍ය වාට්ටු සඳහාත් වෙන් කර ඇත.

සිව්වන මහලේ අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත ශල්‍යාගාර හතරක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබේ.

මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2,900කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මොණරාගල, බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 28කට ආසන්න ජනතාවට කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අම්පාර මහ රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල සහ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල ඒකාබද්ධ සෞඛ්‍ය පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවය.

2019 වසරේ ආරම්භ කළ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අතරමඟ නතර වී තිබූ අතර, ඒවා නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද මේ වනවිට රුපියල් මිලියන 1,400ක මුදලක් ගෙවා අවසන් කර ඇති අතර, මෙම වසර තුළ ශල්‍යාගාර හතරේ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතරමඟ නතර වී ඇති ව්‍යාපෘති 69ක් හඳුනාගෙන ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒවා නිසි වේලාවේ අවසන් නොකිරීම හේතුවෙන් රජයට අමතර මූල්‍ය බරක් දරා ගැනීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය.

ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නොව ඒවා සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ලබන වසර තුළ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට නවීන CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමටත්, රුපියල් මිලියන 317ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇති බවද අනාවරණය කෙරිණි.

මෙම අවස්ථාවේදී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නිල වෙබ් අඩවිය ද එළිදැක්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.