මීගොඩ මංසන්දිය ආසන්නයේ දී රියඅනතුරක් සිදුකරමින් පුද්ගලයින් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ කැබ් රථයේ අවසන් සැකකරු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම වැඩ බලන මහෙස්ත්‍රාත් තරිදු ගමගේ මහතා අද (07) නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දොන් සරත් හෙට්ටිගේ නැමැත්තෙකි.
රිය අනතුරින් පසු පලාගොස් සැඟව සිටි, කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා මීගොඩ පොලීසිය විසින් ඊයේ (6) අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, අනතුරින් දින 6කට පසු ඔවුන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසුවය.
වෙසක් පොහොය නිමිත්තෙන් මීගොඩ හන්දිය ආසන්නයේ පැවති රොටී දන්සලක පෝලිමේ සිටි පිරිසක් වෙත බීමත් රියදුරෙක් පැදවූ කැබ් රථයක් කඩාවැදුණේ පසුගිය මැයි 31 වෙනිදා මධ්‍යම රාත්‍රීයේදීය.
අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකුට දිවි අහිමි වී තවත් 7 දෙනෙකුට තුවාල සිදුවිය.
මෙලෙස මරණයට පත්වූයේ එම දන්සලේ පෝලිමේ සිටි 35 හැවිරිදි නවීෂා නිලක්ෂි , 38 හැවිරිදි ලසිත ප්‍රියංකර, 56 හැවිරිදි පී.බී. ඉන්ද්‍රාණි , 15 හැවිරිදි මලීෂා සත්සරණි ඇතුළුව 38 හැවිරිදි නිෂාන් ප්‍රියංකර සහ 35 හැවිරිදි ඉෂාන් ප්‍රියංකර යන සහෝදරයින් දෙපළය.
අනතුරින් පසු පලාගිය සැකකාර රියදුරු ලුහුබැඳ ගොස් ගොඩගම ප්‍රදේශයේදී අල්ලාගැනීමට පොලිසිය සමත්විය.
ඒ වනවිට අධික ලෙස බීමත්ව සිටි බව කියන සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්ය.
මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා 10ක් යටතේ ඔහු එදිනම හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය, අනතුර සිදුකළ රියදුරු ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අනතුර සිදුකළ අවස්ථාවේදී කැබ් රථයේ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සිටි බවටත්, අනතුරෙන් පසු ඔවුන් රථයෙන් බැස පලාගොස් ඇති බවටත් පොලීසියට තොරතුරු අනාවරණ වී තිබුණි.
ඒ අනුව පලාගිය පිරිස දින ගණනක් පොලීසියෙන් සැඟව සිටීම නිසා ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් සොයාගැනීමට පොලිසිය ඊයේ මහජන සහාය ද ඉල්ලා සිටියේය.
ඊට අනුව කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු ලෙස පොලිසිය හඳුනාගෙන තිබුණේ පිළියන්දල, සිද්ධමුල්ලේ පදිංචි අත්තනායකගේ දොන් වසන්ත නැමැත්තෙක්ය.
මීට අමතරව පැලැන්වත්තේ පදිංචි එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර් සහ පන්නිපිටියේම පදිංචි දොන් සරත් හෙට්ටිගේ යන අය පිළිබඳ තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
රියදුරුට අමතරව රථයේ අයිතිකරු සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා අනතුර සිදුවන අවස්ථාවේ රථය තුළ සිටි අතර පසුව ඔවුන් රථයෙන් බැස පලාගොස් තිබුණි.
මෙවන් පසුබිමක මීගොඩ දන්සල් පෝලිමේ අනතුරට සම්බන්ධ සැඟව සිටි කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙක් ඊයේ පෙරවරුවේ නීතිඥවරයෙක් මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වූ අතර දොන් සරත් හෙට්ටිගේ නම් අනෙක් සැකකරු ද ඊයේ පස්වරුවේ ගොඩගම ප්‍රදේශයේදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව සියලුම සැකකරුන් ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

