ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම රටවල ආරක්ෂක අංශ දියත්කර ඇති විශේෂ මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් ආරංචිමාර්ග පවසන්නේ එලෙස අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලාංකික අපරාධකරුවන් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.
මෙරට තුළ සිදුවන බහුතරයක් අපරාධ ක්‍රියාවන් ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සැඟවී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසින් මෙහෙයනවන බවට ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබේ.
ඔවුන් ඉරානයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජු සබඳතා පවත්වමින් මෙරටට මත්ද්‍රව්‍ය එවන බව පසුගිය කාලයේ සිදුකළ වැටලීම්වලදී හෙළිවිය.
ඒ අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්ට විරුද්ධව රතු වරෙන්තු නිකුත් කර තිබුණ ද අදාළ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට එම රටවල බලධාරීන් පසුගිය කාලය පුරා කටයුතු කර තිබුණේ නැත.
කෙසේවෙතත් මේ වනවිට ඉරානය මැදපෙරදිග කලාපයේ රටවල් වලට ප්‍රහාර එල්ල කිරීමත් සමග එම රටවල් ඉරානයේ අපරාධකරුවන් සමග සබඳතා පවත්වන පිරිස් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව මෙරට අපරාධකරුවන් රැසක් මේවන විටත් මැදපෙරදිග රටවල් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අතර බටුවත්තේ චාමර, මෝදර නිපුන, පරෙවි සුදා ඇතුළු අපරාධකරුවන් රැසක් සිටින බවට වාර්තාවුවත් ඒ බව මෙතෙක් නිලවශයෙන් තහවුරු වී නැත.
ඒ අනුව ඒ පිළිබඳව නිලවශයෙන් තමන් දැනුම්වත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මැදපෙරදිග රටවලින් ඉල්ලීම් කිහිපයක්ම සිදුකර තිබේ.
මෙලෙස සිදුවන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් මේ වනවිට අපරාධකරුවන් රැසක් මැදපෙරදිගින් යුරෝපා රටවලට පලායෑමට උත්සාහ දරන බවද වාර්තා වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන රාජු නැමැත්තාව ද ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහු හෙට (17) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.
මේ අතර කරන්දෙණියේ සුද්දා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ 30 හැවිරිදි කාන්තාවක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණි.
ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 35ක මුදලක් හා රත්‍රං ග්‍රෑම් 99කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.
ඇයගේ සැමියාවද කරන්දෙණියේ සුද්දා විසින් ඝාතනය කර ඇති අතර අනතුරුව ඇය ඔහු සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවද වාර්තා වේ.
අදාළ කාන්තාව කරන්දෙණිය සුද්දා සමග වීඩියෝ ඇමතුමක් ලබාගන්නා ඡායාරූපයක් ද හඳුනාගෙන ඇත.
ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇයගේ මව හා සහෝදරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් සිදුකරයි.

