මහ දවල් සොහොනක බලි පූජා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට……

News Iamges.00_00_00_00.Still2884

පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ සුසාන භූමියක සොහොන් කොත් මත බලි පූජා කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බකමූණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් සොහොන් කොත් මත මැටිවලින් සෑදූ මිනිස් රූපවලට සමාන රූප යොදාගනිමින් පහන් පත්තු කරමින් සිට ඇති අතර ඒ පිළිබඳව ගම්වාසීන් විසින් පොලීසිය දැනුවත් කර ඇත.

එහිදී පොලීසිය පැමිණ සිදු කළ පරීක්ෂා කිරීම්වලදී මෙම කාන්තාවන් දෙදෙනා විසින් සොහොන් කොත්වලට හානි කරමින් මිනී වළවල් ද හාරා ඇති බවට අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව බලි පූජාවට යොදාගත් උපකරණ ද සමග සැකකාර කාන්තාවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක කාන්තාවක් වන බවත්, අනෙක් කාන්තාව වයස අවුරුදු 38ක බකමූණ, සරුබිම ප්‍රදේශයේ පදිංචි අයෙකු වන බවත් පොලීසිය පැවසීය.

මොවුන් දෙදෙනා පුද්ගලික හා පොදු සුසාන භූමි අඥා පනත යටතේ සොහොන් කොතකට හානි සිදු කිරීම යන වරද යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන්.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම කාන්තාවන් දෙදෙනා මීට පෙර අවස්ථාවන්වලත් මෙවැනිම ක්‍රියාවන් සිදු කර ඇති අතර මේ හේතුවෙන් ගම තුළ ජීවත්වීමට පවා බියක් පවතින බවය.