මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 13……

News Iamges.00_00_00_09.Still3072

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම, අගෝස්තු මස 13වැනිදා පෙ.ව. 6යි 17ට යෙදෙන සුබ නැකතට සිදු කෙරෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

දළදා පෙරහැර පැවැත්වෙන දින වකවානු දැනුම්දීම සඳහා අද (8) පස්වරුවේ දළදා මාලිගය පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී ඔහු කුඹල් හා රන්දෝලි පෙරහැර පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්ද සඳහන් කළේය.

ඒ අනුව අගොස්තු 13වැනිදා කප් සිටුවීමෙන් පසු 17වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.

ඉන් අනතුරුව පළමු කුඹල් පෙරහැර 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට 22වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.

පළමු රන්දෝලි පෙරහැර 23 වැනිදා වීථි සංචාරය ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 වැනිදා පැවැත්වීමට නියමිතය.

පසුදින එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන් අනතුරුව එදිනම පෙරහැර සාර්ථකව සිදු කළ බවට පස්වරුවේ දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී භාරදීමට නියමිතය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල නාහිමිපාණන් වහන්සේලා, සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.