නුවරඑළිය මහ නගර සභාවේ සිදුවූ මිලියන ගණනක ඩීසල් වංචාවක් ගැන හෙළිදරව්වක්……

News Iamges.00_00_00_00.Still2698

පසුගිය දිට්වා ව්‍යසන කාලසීමාව තුළ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් වාහනවලට ඩීසල් ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීමේදී රුපියල් මිලියන 9.2ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් දිනේෂ් ලංකා ගීගනගේ මහතා පවසා තිබේ.

ඔවුන් මේ බව පවසා ඇත්තේ, නුවරඑළිය මහ නගර සභාව මගින් ඉන්ධන සඳහා මුදල් වෙන් කරමින් රුපියල් මිලියන 9.2ක මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස විගණකාධිපතිවරයාගෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයට ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා පවසා ඇත්තේ, පසුගිය වසර අගභාගයේදී ඇති වූ දිට්වා මගින් හානියට පත්වූ නුවරඑළිය නගරය මැදින් ගලා බසින තලගලඔය සංවර්ධන කටයුතු සඳහා බැකෝ ඇතුළු යන්ත්‍ර සූත්‍ර කුලී පදනම මත ලබා ගැනීමට සහ ඒවාට ඉන්ධන සැපයීමට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය මහ නගර සභාව විසින් සිදුකළ බවයි.

එහිදී රුපියල් ලක්ෂ විස්සක මුදලක් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මහ නගර සභාවේ නිල බැංකු ගිණුම වෙත යොමු කර ඇති බවත් එම මුදල හැරුණු කොට අනෙක් මුදල් සියල්ලම වියදම් කර ඇත්තේ නුවරඑළිය මහ නගර සභාවේ මුදල්වලින් බවත් එම මුදල් වියදම් කිරීමට ආවරණ අනුමැතිය ලබා දී ඇත්තේ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ මැදිහත්වීමෙන් බව ද ඔහු පවසා ඇත.

මෙලෙස යෙද වූ මුදල්වලින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවත්, ලක්ෂ අනූ දෙකකට වැඩි මුදලක් ඉන්ධන සඳහා වෙන්කලද ඒ මුදලට සරිලන පරිදි වැඩ කටයුතු සිදුවී නොමැති බවත් ඔහු පවසා තිබේ.

මේ අතර, ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන ලබාගෙන ඒ සඳහා අක්‍රමික ලෙස ඉන්ධන ලබාදීම පිළිබඳව අපක්ෂපාති විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටින ලෙසද වැඩිදුර සඳහන් වෙයි.