‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවකගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකාර නිලධාරියා, ජූනි 9 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කළේය.
සැකකාර නිලධාරියා ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ කාන්තාවකට වන්දි ප්‍රදානය කිරීමේදී, ඊට අදාළ කටයුතු කිරීම සඳහා ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතකර සිටින්නේ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරියෙක්ය.
මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද (25) කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් කරුණු දැක්වූ එහි නිලධාරිනියක අධිකරණයට දන්වා සිටියේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පැමිණිලිකාර කාන්තාව වෙත රජය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ලබා දී ඇති බවය.
ඊට අදාළ කටයුතු ඉටු කරදීම සඳහා මෙම සැකකරු විසින් අදාළ කාන්තාවගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති බවත් ඇය අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බව පෙන්වා දුන් එම කොමිසමේ නිලධාරණිය, තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

