ඩුබායි සිට මෙරටට එවූ පාතාලේ 21දෙනා ගැන තවත් තොරතුරු……

News Iamges.00_00_00_00.Still2622

ඩුබායි සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන මෙරටට රැගෙනවිත් තිබුණි.

මෙම පාතාල සාමාජිකයින් අතර “මහවත්තේ චාමර” සහ “කුඩු දුමින්ද” ද සිටින අතර “මහවත්තේ චාමර” මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, කුඩු දුමින්ද වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතය.

මෙම සැකකරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පළා ගොස් සැඟව සිටියදී එරට ආරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාරගත පසුවී තිබේ.

ඒ, මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා, මිසයිලවල වීඩියෝ සහ ජායාරූප ඔවුන්ගේ ජංගම දුරකථන තුළ තිබී සොයාගැනීමෙන් අනතුරවය.

පසුව මෙම 21දෙනා අද (22) උදෑසන ගුවන්යානා දෙකකින් මෙරටට පිටුවහල් කර එවා තිබුණි.

මෙම පිරිස අතර තරුණියන් දෙදෙනෙකු සිටින අතර සෙසු 19 දෙනා පිරිමි පුද්ගලයින්ය.

සාජා නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් අද අලුයම 2:30ට සහ එම ගුවන් සේවයේ ජී.9.- 502 දරන ගුවන් යානයෙන් මෙම 21දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.

ඒ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ගුවන්යානා මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කෙරුණි.

කාලගුණික තත්ත්වය යහපත් වූ පසු අද උදෑසන 8:10ට පමණ මෙම මෙම ගුවන්යානා දෙක මත්තල සිට යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

එහිදී G9- 587 දරන ගුවන් යානයෙන් කොළඹ ප්‍රදේශයේ පදිංචි පොතුමුල්ල කන්කානම්ගේ චානුක පුෂ්පකුමාර, කිරුපනන්ද කෙව්තෙමාන්, කලුපෙ මහහේවගේ චලන සංගීත්, මොහොමඩ් සප්රාස් හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මල්දෙණියගේ කසුන් සච්චන, ගම්පහ ප්‍රදේශයේ පදිංචි වලිමුණිදේවගේ මධුසංඛ පුෂ්පලාල්, රාගම ප්‍රදේශයේ පදිංචි දිනුක ප්‍රභාත්, අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි දිල්ෂාන් සුගත් කුමාර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ගොඩමුණේ විතානගේ අජිත් කුමාර, මීගමුව ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් කුමාර යන 10 දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇත.

G9 502 දරන ගුවන් යානයෙන් කොළඹ ප්‍රදේශයේ පදිංචි කලුතරගේ චතුර බුද්ධික, කලුපෙ මහහේවගේ ගෙහානි ගෞෂිකා, අචිල නිරංග කුමාර, තෝල්ක මුදියන්සේලාගේ රොෂාන් ප්‍රදීප් රුද්‍රිගු, අනුරාධ උපශාන්ත ප්‍රනාන්දු, මාරවිල ප්‍රදේශයේ පදිංචි අඹගහගේ සුපුන් තිළිණ, සුන්දරදාස් සුලෝචනා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි වී සිටි ක්ලැරන්ස් දිනේශ් මධුසංඛ, මුන්දලම ප්‍රදේශයේ පදිංචි වීරබාහු මුදියන්සේලාගේ තුසිත ප්‍රදීප්,  , වාරියපොළ ප්‍රදේශයේ පදිංචි සුරත් තුෂාර පෙරේරා සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචි සමන් පුෂ්පලාල් පෙරේරා යන 11දෙනා පිටුවහල් කර එවා තිබුණි .

මෙම පිරිස කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අදාළ පොලිස් ස්ථාන වෙත භාරදීමට පියවර ගෙන තිබේ.