ගෝඨා අධිකරණය නොමග යවලා හිතාමතාම කරුණු වසන්කරලා නීතිපති අභියාචනාධිකරණයට කියයි……..

News Iamges.00_00_00_00.Still2924

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවාගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 23 වන දා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හතරවන දිනටත් සලකා බැලිණි.

එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
” ස්වාමීනි… පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර ශානි අබේසේකර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ජනක් ද සිල්වා කොමිසම විසින් නිර්දේශ නිකුත් කර තිබෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූණා. මේක සම්පූර්ණයෙන්ම අධිකරණය නොමග හැරීමක් හැටියට සදහන් කරන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශයක්. මේ කොමිෂන් සභා වාර්තාවේ නොකරහැරීම් යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට අදාළව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස කටයුතු කළ සිව්දෙනෙකු සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු පිලිබඳව එහි සඳහන් කර තිබෙනවා. ඒ අතුරින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් අපරාධ නඩු ගොනු කර එහි තීන්දුව කල් ලබා තිබෙනවා. නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටිනවා.

මේ කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශ වල වගඋත්තරකාර ශානි අබේසේකරට එරෙහිව කිසිවක් ප්‍රකාශ කර නෑ. ඒ නිසා පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ එම කරුණු සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ වගේම මේ පෙත්සම්කරු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබදව සොයාබැලු පරීක්ෂණ කොමිසම විසින් වගඋත්තරකාර ශානි අබේසේකර වරදකරු කර ඇති බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඒත් ඒ කොමිසමේ නිර්දේශ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර තිබෙනවා. මුලු කොමිෂන් සභා වාර්තාවම ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කර අවසන්. ඒ අනුව පෙත්සම්කරු හිතාමතාම අධිකරණය නොමග යවමින් කරුණු වසන්කිරීමට ක්‍රියාකර තිබෙනවා.” යනුවෙන් චෝදනා කර සිටියාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය,
” ස්වාමීනි….මේ පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙනවා අසාද් මවුලානා නමැති පුද්ගලයා තමන් හදුනන්නේ නැති බවට. දේශපාලනයේදී මේ ආකාරයෙන් පුද්ගලයින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් පෙත්සම්කරුගේ නීතිඥවරු ප්‍රකාශ කර තිබුණා. මේක පිළිගන්න බෑ ස්වාමිනී… මොකද අසාද් මවුලානා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. ඔහු පිල්ලයාන්ගේ ලේකම්වරයා. ඒ නිසා ඔහු හදුනන්නේ නෑ කියා පෙත්සම්කරුට කියන්න බෑ” යනුවෙන් පැවසුවාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය,
“තමා ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු වගඋත්තරකාර ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර මාරුකළ බව ඇතැම් මාධ්‍යවල සඳහන් කර තිබූණේ යැයි පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා වගඋත්තරකරු තමා සමග ද්වේෂයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේක පිළිගන්න බෑ. මොකද පොලිස් මාරුකිරීම් කරන්නේ ජනාධිපති නෙවෙයි. එම මාරුකිරීම් කරන්නේ ජාතික පොලිස් කොමිසම විසින්. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කරන තර්කවල කිසිදු පදනමක් නෑ. ශානි අබේසේකර ද්වේෂ සහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු ඉදිරිපත් කර නෑ. නීතිවිරෝධී ලෙස සාක්ෂි නිර්මාණය කළේ යැයි ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා. දැන් ඔහු එම චෝදනා වලින් නිදහස් කර තිබෙනවා. එපමණක් නොව එම සිද්ධියේදී නීතිවිරෝධී ලෙස ගිනිඅවි තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා.” යනුවෙන් කියාසිටියාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය,
“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පැවැත්වෙන්නේ ඉතා සංකීර්ණ විමර්ශනයක්. එය සතියකින් හෝ මාසයකින් අවසන් වේ යැයි කියන්න බෑ. ඊට බාධා රැසකුත් එල්ල වෙලා තිබෙනවා. වර්තමානයේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු වැදගත් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. එහි පිටපතක් රහසිගත කවරයක බහා මා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. දුරකථන ඇමතුම් වාර්තා ලබාගැනීම සිදුවෙනවා. වට්ස්ඇප්, ත්‍රිමා වැනි ඇමතුම් ජාල වලින් ලබාගෙන තිබෙන ඇමතුම් ගැනත් විමර්ශනයට භාජනය වී තිබේවා.ඒ සදහා ඇමරිකාවේ එම සමාජ මාධ්‍ය සමාගම් වලත් සහාය ලබාගැනීම සිදු වෙනවා. ඒ නිසා මේක සංකීර්ණ අවස්ථාවක්.මේ අවස්ථාවේදී පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කරන්න බෑ” එම නිසා මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් ප්‍රතිපාදන දරදඬුයි. ඒ නිසා තමයි සෑම පාර්ශවයක්ම එම පනත සංශෝධනය කළයුතු බව පොරොන්දු වූණේ. මේ පනතෙන් මහේස්ත්‍රාත්වරයා ඉවත් කර තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කරන කරුණු අසා මා තුළ දැඩි කම්පාවක් ඇති වෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අධිකරණය විසින් මේ මස 23 වැනිදා දක්වා කල්තැබීමට නියම විය.