කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්‍රදානය හෙට…..

News Iamges.00_00_00_16.Still3045

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් 1,252 දෙනෙකුට හෙට (07) දින පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් හෙට (ජූලි 07) අරලියගහ මන්දිරයේදීය.

මෙම තනතුරු 2025 වසරේ ඔක්තෝබර් මස 05 වන දින පවත්වන ලද විවෘත තරග විභාගය සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටියහ.

එහි ප්‍රතිඵල මත 2026 මැයි මස 22,23 සහ 24 යන දිනවල පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සහ විභාග ලකුණු පදනම් කර ගනිමින් දක්ෂතාවය මත ම මෙම පිරිස තෝරාගෙන ඇත.

මෙම බඳවා ගැනීම් සඳහා මූලික සුදුසුකම උසස් පෙළ වුව ද, මේ සඳහා උපාධිධාරීන් බොහෝ ප්‍රමාණයක් ද සුදුසුකම් ලබා තිබේ.

සමස්ත පත්වීම්ලාභීන් සියල්ලන්ම වයස අවුරුදු 18-29ත් අතර පසුවන තරුණ තරුණියන් වන අතර සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු වශයෙන් නිලධාරීන් 1,252 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පවතින පුරප්පාඩු ප්‍රමාණය 1,615කි.

පළමු වටයේදී මූලික සුදුසුකම් සපුරා ඇත්තේ 1,252 දෙනෙකු පමණක් වන බැවින් ඉතිරි පිරිස දෙවන වටයකදී බඳවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ ඉදිරි පියවර 2021 වසරේ සිට රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සිදු නොවීම නිසා බරපතළ නිලධාරී හිඟයක් පැවතුණි.

එමඟින් මහජනතාව මෙන්ම රජය ද දුෂ්කරතාවලට මුහුණ දුන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව 2025 වර්ෂයේදී 35,000කට අධික පිරිසක් බඳවා ගත් අතර, මෙම වසරේදී ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී.

මීට අමතරව 2027 වසරේදී ද සැලකිය යුතු පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.