ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මහෝත්සවයට සහ වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන් වගකීමෙන් යුතුව කසළ නිසි පරිදි බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.
මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ජූලි 15 වැනිදා සිට ජූලි 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
සාමාන්‍යයෙන් ඇසළ උත්සව සමයේදී බැතිමතුන් ලක්ෂ 25කට අධික පිරිසක් කතරගමට පැමිණෙන අතර, එම කාලය තුළ කතරගම පූජා නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශවල දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 75ක පමණ ප්‍රමාණයක් එක්රැස් වන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ ජනතාව දැනුවත් කිරීමේ සහ කසළ කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් එක්රැස් වන කසළ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කිරීමට හැකි වී ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
මෙවර ද මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව, කිරිවෙහෙර රජමහා විහාරය සහ කතරගම පෙරහැර කමිටුව එක්ව පරිසර දූෂණය අවම කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
ඒ අනුව පූජා භූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම්වලදී පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබාදීම, බස් රථ තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, වීදි නාට්‍ය ඇතුළු නිර්මාණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, 2026 ජූලි 22 වැනිදා ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කිරීම, ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීම සඳහා විශේෂ කසළ රඳවන ස්ථාන ස්ථාපිත කිරීම සහ කසළ බැහැර කිරීම සඳහා පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම පාද යාත්‍රා මාර්ගය ඔස්සේ ගමන් කරන බැතිමතුන් සඳහා ද කසළ බැහැර කිරීමේ පහසුකම් සලසා ඇති අතර, උත්සවය අවසන් වූ පසු පූජා භූමිය පිරිසිදු කිරීම, කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශ අවිධිමත් කසළ බැහැර කිරීමෙන් දූෂණය වීම වැළැක්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජල දේහයක් වන මැණික් ගඟට කසළ බැහැර නොකිරීම, ඒ සඳහා වෙන්කර ඇති ස්ථානවලට පමණක් කසළ බැහැර කිරීම, කසළ ජනනය අවම කිරීම සහ විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතය හැකිතාක් සීමා කරමින් පරිසර හිතකාමී අයුරින් කතරගම ඇසළ මහෝත්සවයට සහභාගි වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

