කටුනායක ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සමග පොරබදා ඔහුගේ ගිනිඅවිය උදුරාගෙන වෙඩිතබා පලාගිය සැකකරු ලබන 20 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ දිසා අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.
සැකකරු අද (16) මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඊයේ (15) පස්වරුවේ දැවමොට්ටාව ප්‍රදේශයේදී සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්විය.
කෙසේ වෙතත් අත්අඩංගුවේ සිටියදී ඔහු මහා මාර්ගයේදී පොලිස් නිලධාරියෙකු සමග පොරබදා, එම නිලධාරියා සතු ගිනිඅවිය උදුරාගෙන තිබේ.
අනතුරුව වෙනත් පොලිස් නිලධාරියෙකුට ඉන් වෙඩි තබා, අදාළ ගිනිඅවියද රැගෙන යතුරුපැදියකින් පළාගොස් තිබුණි.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එදින රාත්‍රියේදීම පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ මෙහෙයුමක් ආරම්භ කෙරිණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් දිවුලපිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31ක්, කොල්ලකන ලද පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය සහ පළායාමට භාවිත කළ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

