ඔරුගොඩවත්ත හන්දියේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් මාර්ගයේ මංතීරු දෙකක් අවහිරයි……

News Iamges.00_00_00_09.Still3071

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ඔරුගොඩවත්ත හන්දියේදී අද (08) දහවල් කාලයේදී කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරවීමේදී මෙලෙස අනතුරට ලක්ව පෙරළී ඇති බවය.

අනතුර හේතුවෙන් දෙමටගොඩ සිට පෑළියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මංතීරු දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

මේ හේතුවෙන් පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලීසිය විසින් විකල්ප ධාවන සැලසුමක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, පෑළියගොඩ දෙස සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව ඔස්සේ දෙපසටම (දෙමටගොඩ සිට පෑළියගොඩට සහ පෑළියගොඩ සිට දෙමටගොඩට) රථවාහන ගමනාගමනය සිදු කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.

මාර්ගයේ ඇති වී තිබෙන මෙම අවහිරතාව කඩිනමින් ඉවත් කර රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

එබැවින් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස හෝ විමසිලිමත්ව ධාවනය කරන ලෙස දැනුම් දෙනු ලැබේ.