මේ සම්බන්ධව මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදීම රජය සමග සාකච්ඡා කළත් මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් එළැඹෙන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ වීම ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සඳහන් කළේය.
ඒ අනුව පසුගිය දින පැවැති විශ්වවිද්‍යාලවල සියලු ආචාර්ය සංගම් එකතුව ප්‍රධාන රැස්වීමක් පැවැත්වුව බවත් පැවසූ ඒ මහතා එහිදී වෘත්තිය ක්‍රියාමාර්ගවලට අනුගත වීම සඳහා ඒකමතික තීරණය කළ බවද මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලුම ස්වේච්ඡා වැඩකටයුතුවලින් ඉවත් වීමටත් තීරණය කර ඇති බවත් පැවසූ ඒ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා,
“අපි පෙරේදා දිනයේදී සියලූම විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය සංගම් එකතු වෙලා අපේ ප්‍රධාන රැස්වීම අපි පැවැත්වුවා. ඒ රැස්වීමේදි අපි ඒකමතිකව තීරණය කළා අපි වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවා. මොකද අවුරුදු එකහමාරක් තිස්සේ සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ දරුවා පාසලට දාගන්න බැරි නම් මේ ආණ්ඩුවත් එක්ක තවදුරටත් සාකච්ඡා කරලා තේරුමක් නෑ. ඒ නිසා අපි මූලික වශයෙන් මුලින්ම යම් යම් වෘත්තිය ක්‍රියාමාර්ගවලට යන්න අපි තීරණය කළා. විශේෂයෙන්ම සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලූම ස්වේච්ඡා වැඩවලින් ආචාර්යවරු ඉවත් වෙන්න. විශය නිර්දේශ ප්‍රතිසංස්කරණය, මොඩියුල් ප්‍රතිසංස්කරණය, ගුරු පුහුණුව, සම්මන්ත්රණ ආදී මේ කියන මේ හැමදේකටම විශ්වවිද්‍යාල ආචාර්යවරු ස්වචේඡාවෙන් සම්බන්ධ වෙන්නේ. මේ කටයුතුවලින් අපි ඉවත් වෙන්න තීරණය කළා. සති දෙකක කාලයක් මේ රජයට ලබා දෙනවා සති දෙකක කාලයක් ඇතුළත අපිට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අපි තීරණය කරනවා ඉදිරියේදී එන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අපි සම්බන්ධ වෙනවාද නැද්ද කියන එක ගැන.”

