කල් දැමූ IPL අවසන් මහා තරගය අද

ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඊයේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අහ්මදාබාද් ක්‍රීඩාංගනයට අධික වර්ෂාවක් පතිතවීම හේතුවෙන්. ඒ අනුව තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

IPL අවසන් මහා තරගය අද

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඇති බවයි සඳහන් වන්නේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිව්වතාවක් IPL ශූරතාව දිනාගෙන ඇති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පසුගියවර ශූරයන් බවට පත් වුණා.

තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

IPL 2023: මුම්බායි ඉන්දියන්ස් පරදා ගුජරාට් ටයිටන්ස් අවසන් තරගයට

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරඟය ඊයේ (26) පැවැත්වුණා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළා. එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ශුබ්මාන් ගිල් ලකුණු 129ක් සහ සායි ශුදර්ශන් ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ආකාශ් මද්වාල් සහ චව්ලා කඩුල්ල බැගින් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම දියත් කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 02ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 171ක් පමණයි. එහිදී මුම්බායි ඉන්දියන් වෙනුවෙන් සූර්යකුමාර් යාදව් ලකුණු 61ක් සහ තිලක් වර්මා ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් මො‍්හිත් ෂර්මා කඩුළු 05ක් බිඳ දැම්මා.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් සමඟ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හෙට (27) ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

SAVONA තරගාවලියේදී යුපුන් දෙවන ස්ථානයට

International Meeting Citta’ Di Savona 2023 අවසන් තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

අවසන් තරගයේදී ඔහු වාර්තා කළ කාලය තප්පර 10.01 ක් බවයි සඳහන් වන්නේ.

අවසන් තරඟයට සුදුසුකම් ලැබීම සඳහා පැවති පුර්ව තරග වටයේදී ද තත්පර 10.04 කින් තරගය නිමා කරමින් ⁣දෙවන ස්ථානය ලබාගැනීමටද යුපුන් අබේකොන් සමත් වුණා.

මුම්බායි කණ්ඩායම Qualifier 2 තරගයට සුදුසුකම් ලබයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 81 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියේ Qualifier 2 තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණයි.

ඒ අනුව එළඹෙන 26 වැනිදා අහ්මදාබාද් හීදී පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේ දී මුබ්බායි කණ්ඩායම, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිත අතර තරග සියල්ලම හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.

චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier 1) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වුණා.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 60 ක්, ඩෙවෝන් කොන්වේ ලකුණු 40 ක්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.

ටයිටන්ස් ඉනිම වෙනුවෙන් ෂුබ්මාන් ගිල් ලකුණු 42 ක්, දසුන් ශානක ලකුණු 17 ක්, රෂීඩ් ඛාන් ලකුණු 30 ක් රැස් කිරීමට සමත් වුණා.

LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 පැවැත්වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් වියදම් කළ හැකි බවයි තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල සඳහන් කළේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෘජුව කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව Babar Azam, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න Colombo Strikes කණ්ඩායම සමඟ සෘජුව ගිවිසුම්ගත වී ඇති අතර David Miller, තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ Jaffna Kings කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව තිබෙනවා.

එසේම Matthew Wade, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු Dambulla Aura කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති අතර Tabraiz Shamsi, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස් Kandy Falcons සමඟ ගිවිසුම්ගතව ඇති බවයි සඳහන් වන්නේ.

Shakib Al Hasan, දසුන් ශානක, භානුක රාජපක්ෂ Galle Gladiators සමඟ ගිවිසුම්ගතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වට​යේ කාලසටහන නිවේදනය කෙරේ

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී කණ්ඩායම් කාණ්ඩගත කර ඇති ආකාරය හා තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව එහි B කාණ්ඩයෙන් තරග වදින අතර, දෙවරක් ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම A කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

A කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය හා අමෙරිකා එක්සත් ජනපදය තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‍යේ සභාපති ධූරයට යළිත් ශම්මි සිල්වා පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා හිටපු සභාපති ශම්මි සිල්වා නැවත වතාවක් තේරී පත්ව තිබෙනවා. ඔහු එම ධූරයට පත් වූ තෙවැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා වනවා.

අද (20) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ඔහු එම ධූරය සඳහා නිතරඟයෙන් තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධූරය සඳහා මොහාන් ද සිල්වා පත්ව තිබෙනවා.