ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Glenn Maxwell එක්දින පිටියට සමුදීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක Glenn Maxwell එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු 2012 වර්ෂයේ එක්දින පිටියට පිවිසීමෙන් අනතුරුව මේ දක්වා එක්දින තරග 149 කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු ලකුණු 3990 ක් ලබාගෙන, කඩුලු 77 ක් බිඳ හෙළිමට සමත් වී තිබෙනවා.

කෙසේ නමුත් ඔහු ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානය තෙක් විස්සයි විස්ස ක්‍රීඩා පිටියේ තවදුරටත් ක්‍රීඩා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රිකට් වාර්තාවක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී වාර්තාවක් පිහිටුවීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 400 ක් ලබාගත්තා.

එම ලකුණු 400 වාර්තා අතරට එක් වුණේ කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙක් ශතකයක් වාර්තා කිරීමකින් තොරව කණ්ඩායමක් එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ දකුණු අප්‍රිකාව වන අතර එහිදී 2007 වසරේ පාකිස්ථානයට එරෙහිව දකුණු අප්‍රිකාව ලකුණු 392 ක් රැස් කර තිබුණා.

ඇන්ජලෝ මැතිච්ස් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

මෙරට බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිච්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජුනි මස පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයෙන් අනතුරුව තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවයි ඔහු නිවේදනය කර තිබෙන්නේ.

වසර 17 ක ඔහුගේ ටෙස්ට් දිවිය තුළ තරග 118 කට ක්‍රීඩා කර ඇති ඔහු, එහිදී ඉනිම 210 ක් තුළ ලකුණු 8167 ක් ලබාගෙන, ශතක 16 ක් හා අර්ධ ශතක 45 ක් වාර්තා කර තිබෙනවා.

එසේම ඔහු ටෙස්ට් කඩුලු 33 ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images

ජනාධිපති කුසලාන පාසල් රග්බි ශූරතාව ඉසිපතන විද්‍යාලය​ට

අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්වී තිබෙනවා.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ අද (18) පැවති අවසන් මහා තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලය විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 – 9 ක් ලෙස පරාජය කිරීමට සමත් වුණා.

පළමු අර්ධයේදී ද ලකුණු 7-6 ක් ලෙස ඉසිපතන විද්‍යාලය පෙරමුණ ගෙන සිටි අතර දෙවන අර්ධයේදී තවත් ලකුණු පහක් එකතු කරගැනීමට ඔවුන් සමත්වුණා.

ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 2 ක් හා එක් ප්‍රවර්තනයක් සාර්ථක කරගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරග කාලසටහන නිවේදනය කෙරේ

තරග සංචාරයක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජුනි මස දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් මෙම සංචාරයට ඇතුළත් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ටෙස්ට් තරගාවලිය ජුනි 17 සිට 29 දක්වා පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය ජුලි 02 සිට ජුලි 08 දක්වාත්, විස්සයි විස්ස තරගාවලිය ජුලි 10 සිට ජුලි 16 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන පහතින්.

news images

Battle of the Bands තරගාවලියේ අනු ශූරතාව Knights සංගීත කණ්ඩායමට

ඉන්දියාවේ පැවති Battle of the Bands තරගාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ Knights සංගීත කණ්ඩායම සමත්වුණා.

ඉන්දියාවේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය සහ එරට ‘සරිගම’ සංගීත ආයතනය එක්ව සංවිධානය කර තිබුණු මෙම තරගාවලිය සඳහා රටවල් 12ක් නියෝජනය කරමින්, සංගීත කණ්ඩායම් 12ක් සහභාගි වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගි වූ Knights සංගීත කණ්ඩායමට තරිඳු නිර්මාණ, දනිඳු පෙරේරා, රුක්ෂාන් සිල්වා, කවිශ්ක අශාන් සහ ගීසර විජේකෝන් යන අය ඇතුළත් වුණා.

තරගාවලියේ අනුශුරතාව දිනාගත් ඔවුන් අද (05) යළි දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ගායන ශිල්පීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්න‍ේ.

LPL තරගාවලියෙන් Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම්වල හවුල්කාරීත්වය අවසන් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) Colombo Strikers සහ Jaffna Kings යන කණ්ඩායම් සමඟ තිබූ හවුල්කාරිත්වය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ගිවිසුම්ගත වීමේදී එකඟ වූ කරුණු ඉටු කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස හවුල්කාරීත්වය අවසන් කිරීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා IPG සමූහය නිවේදනය කර තිබෙන්නේ.

ඉදිරියේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී නව හිමිකාරිත්වයක් යටතේ කොළඹ සහ යාපනය නියෝජනය කරන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ශ්‍රී ලංකා කාන්තා බේස්බෝල් කණ්ඩායම මංගල ජාත්‍යන්තර තරග ජයග්‍රහණය වාර්තා කරයි

ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉරානයට එරෙහිව පැවති තරගය ලකුණු 13 – 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත්වුණා.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුණා.

මෙය ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ මංගල ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව මූලික වටයේදී A කාණ්ඩයෙන් තරග වදින අතර, ඉන්දියාව, පකිස්තානය සහ ඉරානය ඊට ඇතුළත් සෙසු කණ්ඩායම් වනවා.

ජනාධිපති කුසලාන රග්බි තරග හෙට සිට ආරම්භ වෙයි

මෙරට රග්බි ක්‍රීඩාවේ නිරත වන පළමු කොටසේ විදුහල් 16 තරග වදින, ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය හෙට (25) සිට ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් මූලික වටයේ තරග 02 ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානායක විදුහල කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.

එසේම, කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී හෙට තරග වැදීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපති කුසලාන සඳහා වන පළමු අවසන් පූර්ව තරගය මැයි මස 09 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ද, දෙවැනි අවසන් පූර්ව තරගය මැයි මස 11 වැනිදා හැව්ලොක් පිටියේදී ද පැවැත්වෙන අතර, අවසන් මහා තරගය මැයි 18 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ආසියානු රග්බි ශූරතා​වේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වෙයි

2025 ආසියානු රග්බි පිරිමි ශූරතාවලියේදී ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට ඇතුළත්වීමට ශ්‍රී ලංකාව ඊයේ (19) සමත් වුණා.

2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ මෙන්ම ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තීරණාත්මක තරගයක් ඊයේ කොළඹ තුරඟ තරග පිටියේදී ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර පැවැත්වුණා.

මෙම තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 33ට 07ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වූ අතර අනතුරුව දෙවැනි අර්ධයේදී ද තවත් ලකුණු 26 ක් සිය ලකුණු පුවරුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක් කර ගනිද්දී මැලේසියානු කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 12 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 59 ට 19 ක අති විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම හතර තරග වදින පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.