SL vs PAK 1st Test: පාකිස්තානයට කඩුලු 4ක ජයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (20) සමත් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනය සදහා තරගය ආරම්භ කරන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටි අතර, අද දිනයේදී ඔවුන් කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. එහිදී ධනංජය ද සිල්වා ලකුණු 122 ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 461 ක් ලබා ගත් අතර පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක් දවා ගත්තා.

පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 279 ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 131 ක්.

ඔවුන් කඩුලු 6 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ආසියානු කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය යටතේ මෙවර පැවැත්වෙන තරගාවලියට තරග 13 ක් ඇතුළත් වනවා.

තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු 31 වැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිත අතර පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය සැප්තැම්බර් දෙවැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ තරග දෙකක් වන බංග්ලාදේශ-ඇෆ්ඝනිස්තාන තරගය හා ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගය ලාහෝර් හී දී පැවැත්වීමට නියමිත අතර, සුපිරි 4 වටයේ පළමු තරගය ද ලාහෝර් හී දී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

සුපිරි 4 වටයේ සෙසු සියලු තරග කොළඹ දී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය ද කොළඹදී පැවැත්වීමට නියමිතයි.

අදාළ කාලසටහන පහතින්.

64b8b2cd9cb06

ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

25 වෙනි ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි එම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, මළල ක්‍රීඩා සංගමය ඇතුළු ආයතනවල නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවයි සඳහන් වන්නේ.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමගින් සමස්ත ලකුණු සටහනේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වුණා.

SL vs PAK 1st Test: ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 312 ක් රැස් කරයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (17).

දිනය ආරම්භ කරන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 242 ක්.

දිනයේ පළමු කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 5කට දැවී ගිය අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 4 කට දැවී ගියා.

ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 122 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 12ක් ඇතුළත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ සියලු දෙනා ලකුණු 312 කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

64b4e4c75ec29

SL vs PAK 1st Test: ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට අද (17) සමත් වුනා.

ඔහුගේ ශතකය සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වුණා.

තරුෂි කරුණාරත්නගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න සමත්වී තිබෙනවා.

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාවත් සමඟ රන් පදක්කම දිනාගෙන ඇති අතර ඇය තරගය 2:00.66 කින් නිමා කිරීමට සමත්ව තිබෙනවා.

මේ අතර එම තරග ඉසව්වේම ලෝකඩ පදක්කම ගයන්තිකා අබේරත්න විසින් දිනාගෙන ඇති අතර ඇය තරගය නිම කිරීම සඳහා 2:03.25 කාලයක් වාර්තා කර තිබෙනවා.

SL vs PAK 1st Test: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

SL vs PAK 1st Test: පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ගාල්ලේදී ආරම්භ වනවා.

ඒ අනුව අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

64b0cdcb1cdad

නදීෂා රාමනායකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්වී තිබෙනවා.
කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් ඇය තප්පර 52.61 කින් තරගය නිමා කරමින් මෙම දක්ෂතාව දක්වා තිබෙනවා.