රනිල් ආවොත් නහයට උඩින් වතුර නොයා බේරෙන්න පුළුවන්, අනුර ආවොත් රට විනාශයි – සුජීව සේනසිංහ

රනිල්, අනුර, නාමල් යන තිදෙනාම සමගි ජන බලවේගයේ අඩුවැඩි වශයෙන් ප්‍රතිවාදීන් බව සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණිය හොත් රට ඉතිරිවීමක් සිදු නොවන බවයි ඊයේ (26) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි බලයට පැමිණිය හොත් නහයට උඩින් වතුර නොයා බේරීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදක්වා තිබෙනවා.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම ඔස්සේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකර තිබෙනවා.

පිටු 233 කින් යුත් අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවීමට හෝ download කරගැනීමට හැකියි.

රාජ්‍යයේ ඉහළම තනතුර ඉල්ලන අයට පාර්ලිමේන්තුව මෙහෙයවගන්න මන්ත්‍රීවරු නැහැ – අගමැති

රාජ්‍ය පාලනය පිළිබඳ අද්දැකීමක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැර අනෙකුත් අපේක්ෂකයින්ට නොමැති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රාජ්‍යයේ ඉහළම තනතුර ඉල්ලන අයට පාර්ලිමේන්තුව මෙහෙයවා ගැනීමටද මන්ත්‍රීවරුන් නොමැති බවයි ජන හමුවක් අමතමින් අගමැතිවරයා සඳහන් කළේ.

එවැනි තත්ත්වයකින් රට තුළ ඇතිවිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථිකය අවුල ගැඹුරු ගැටලුවක් ලෙස මහජන ජීවිත අවුලකට පත් කරනු ඇති බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 26 එළිදකී

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 26 වන සඳුදා උදෑසන 10 ට එළිදැක්වීමට නියමිත බව එම පක්ෂය නිවේදනය කරනවා.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව ඔස්සේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිත බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් කරන්නේ නැහැ – අනුර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

සමාජයේ මුල් පවුරු නිර්මාණය වී තිබෙන්නේ බුදුදහම පදනම් වී බවත් ජාතික ජන බලවේගය අක්මුල් නොමැති ජාතියක් ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපාරයක් නොවන බවයි අද (23) “සඟරුවනේ මහ පෙළහර” මහ සඟ සමුළුවට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවක් නිර්මාණය කළ යුත්තේ අනෙකාට එරෙහිව නොවන බවද, සියලු දෙනා එකතු කරගත් සමඟි සම්පන්න ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

රටටත් ජාතියටත් යළි නිදහස ළඟා කර ගැනීමේ ජාතික සැලැස්මක් ජාතික ජන බලවේගය විසින් නිර්මාණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2025 ජනවාරි සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දමනවා – සජිත්

2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමටද කටයුතු කරන බවයි අද (23) වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ.

එසේම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ජීවන වියදම් දීමනාව 25,000 දක්වා වැඩි කිරීමටත් රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප දීමනා සහිතව රුපියල් 57,500 දක්වා ඉහළ දැමීමටද කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ගෑස් සිලින්ඩරේට ඡන්දේ දුන්නේ නැත්නම් ගෑස් සිලින්ඩර් නැතුව තමයි ඉන්න වෙන්නේ – රනිල්

එදා ජනතාව විඳි දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක රට ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි මේ රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2022 ජූලි මාසයේ දී තමා ආණ්ඩුව භාරගෙන පළමුවරට සිදු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා එම කන්න 04 සාර්ථක කර ගනිමින් රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා කුඹුරත්  මුළුතැන්ගෙයත් පිරවීමට කටයුතු කළ බවද සඳහන් කළා.

සජිත් හෝ අනුර බලයට පැමිණිය හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම් වෙනස් කරන බවට ප්‍රකාශ කරන බවත් එසේ කළ හොත් ලැබීමට ඇති ආධාර නොලැබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔබේ අනාගය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙසත් එසේ නොවුනහොත් ගෑස් නැතුව සිටීමටද සිදුවන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තවත් මැතිවරණ පැමිණිලි 54 ක් ලැබෙයි

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 54 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙතෙක් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 747 ක්, වෙනත් පැමිණිලි 23 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා 1 ක් මේ වන විට වාර්තා වී ඇති බව සඳහන්.

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා.

ජනපති අපේක්ෂකයින් අතර විවාදයට අපේක්ෂයින් 39 දෙනාටම ඇරයුම් කෙරේ

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි එම ව්‍යපාරය සඳහන් කරන්නේ.

මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව අපේක්ෂකයින් 39 දෙනාටම විවෘතව මෙම විවාද මාලාව සඳහා ආරාධනා කරන අතර ඒ සඳහා අපේක්ෂකයන්ගේ කැමැත්ත ඊමේල් ලිපිනයට අගෝස්තු 24 වනදා මධ්‍යහන 12.00 ට පෙර යොමු කරන ලෙසයි දැනුම් දෙන්නේ.

අදාළ ලිපිය පහතින්.

66c5c3d8bd7d4