ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් කටයුතු කරන්න – සජිත්

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන් මිත්‍රශීලීත්වයෙන් එකමුතුභාවයෙන් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය ලංකා ඉතිහාසය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් – අනුර

මෙවර ජනාධිපතිවරණය ලංකා ඉතිහාසය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතාව ඉතා උනන්දුවෙන් අද (21) දිනයේ සිය ඡන්දය භාවිතා කර ඇති බවයි සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සෑම කෙනෙකුටම තමන් කැමති අයෙකුට ඡන්ද දීමේ අයිතිය ඇති බැවින්, ඒ අයිතියට ගරු කරන අලුත් දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය බවද, එබැවින් ජයග්‍රහණයෙන් පසුව සාමකාමීව කටයුතු කරන ලෙසද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ලංකාවේ පළමු වතාවට උතු​රේ නැගෙනහිර හා දකුණේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් නිර්මාණය වෙනවා – අනුර

සියවස් ගණනාවකට පසු ලංකාවේ පළමු වතාවට උතුර, නැගෙනහිර හා දකුණේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ලද ආණ්ඩුවක් නිර්මාණය වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙය නායකයෙක්ගෙන් නායකයෙකුට බලය හුවමාරුවක් නොව, රටේ සමාජ ආර්ථික දේහයේ විශාලතම පරිවර්තනය බවයි ඊයේ (18) නුගේගොඩ පැවති අවසන් මහා ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ.

දිගු ගමනක ආරම්භක පියවර ලෙස සැප්තැම්බර් 21 වනදා පොදු ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනඟන බවත්, ඉන් පසු පියවරෙන් පියවර රට ගොඩනැගීම ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළා.

ප්‍රතිවාදීන් සිය ජයග්‍රහණය වෙනුවෙන් ජාතිවාදය හා ආගම්වාදය ප්‍රචාරය කරමින් සිටි බවත්, ජනාධිපතිවරණයෙන් පසුව ජාතිවාදය උසි ගැන්වෙන, උඩගෙඩි දෙන, අනෙකා නොසලකා හරින ප්‍රකාශවලට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ඉඩ නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවත්, ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේ.

රනිල් වික්‍රමසිංහගේ අවසන් ජන රැළිය ආරම්භ වෙයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව කොළඹ නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි වාර්තා වෙන්නේ.

සජිත් ප්‍රේමදාසගේ අවසන් ජන රැළිය ආරම්භ වෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව කොළඹ නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි සඳහන් වෙන්නේ.

නාමල් රාජපක්ෂගේ අවසන් ජන රැළිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව කැස්බෑව නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි සඳහන් වෙන්නේ.

අනුර කුමාර දිසානායකගේ අවසන් ජන රැළිය ආරම්භ වෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව නුගේගොඩ නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි වාර්තා වෙන්නේ.

දිලිත් ජයවීරගේ අවසන් ජන රැළිය ආරම්භ වෙයි

සර්ව ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීරගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව කොට්ටාව නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි සඳහන් වෙන්නේ.

මොනතරම් අවලාද නැගුවත් අසත්‍ය කතා පැතුරුවත් ජාතික ජන බලවේගයේ ගමන පරාජය කළ නොහැකියි – අනුර

සිය ජයග්‍රහණයෙන් පසු මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදුවන බවයි පන්නල නගරයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මොන තරම් අවලාද නැගුවද, සජිත් ප්‍රේමදාස මොන තරම් අසත්‍ය කතා පැවසුවද ජාතික ජන බලවේගයේ ගමන පරාජය කිරීමට නොහැකි බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රටේ නායකයා බවට පත්විය යුත්තේ සැමට සමානව සලකන නායකයෙක් – සජිත්

රටේ නායකයා බවට පත්විය යුත්තේ ජාති ආගම් බේදයකින් තොරව සැමට සමානව සලකන නායකයෙක් බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එසේම මඩකලපුව ප්‍රදේශයේ ඇති පාසල් 361 ක් සුහුරු පාසල් බවට පත් කිරීමටත් රෝහල්ද  සුහුරු රෝහල් බවටද පත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.