මන්ත්‍රීවරුන්​ගේ විශ්‍රාම වැටුප් ගැන පාර්ලිමේන්තුවේ දී අනාවරණයක්

ජනවාරි 25 වනදා වන විට පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප් ලබාගන්නා මන්ත්‍රීවරුන් 330 ක් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක පවසනවා.

එසේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගෙවන කාලත්‍රයන් 182 ක් සිටින බවත් ඒ අනුව මන්ත්‍රීවරුන් හා කාලත්‍රයන් 500 කට වැඩි පිරිසකට පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් විශ්‍රාම වැටුප් ගෙවන බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මාසිකව දෙකෝටි තිස්පන්ලක්ෂ හතලිස් එක්දහස් හයසිය හතලිස් පහක මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවන බවත් කාලත්‍රයන් සඳහා එක්කෝටි දසලක්ෂ විසිපන්දහස් දෙසිය දහසයක මුදලක්ද, යැපෙන්නන් සඳහා 420,121 මුදලක්ද පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් ගෙවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සමහරු පන්ති කාමර හැදුවා, බස් බෙදුවා, දැන් ඒ මොකුත් නෑ – සමන්ත විද්‍යාරත්න

වතුකරයේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීම සඳහා පියවර රැසක් ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඒ අනුව නව නිවාස ව්‍යාපෘති කිහිපයක් ඔවුන් වෙනුවෙන් ඇරඹීමට කටයුතු කරන බවත්  ස්මාර්ට් පන්ති කාමර 60 ක් ලබාදීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ ගිවිසුමකටද එළඹීමට කටයුතු කළ බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

සමහරුන් ඡන්ද බලාපොරොත්තුවෙන් පංති කාමර සෑදු අතර බස් බෙදීමට කටයුතු කළ බවත් ඒවා කිසිවක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.

වැටුප ගන්නේ නැත්නම්, කැන්ටිමෙන් කන්නේ, නිවාසයේ කුලිය ගෙවන්නේ කොහොමද කියලා රටට හෙළි කරන්න – ප්‍රසාද් සිරිවර්ධන

පාර්ලිමේන්තු වැටුප නොගන්නා බවට ප්‍රකාශ කළ ආණ්ඩුව ගෙවුනු මාසයේ වැටුපට සිදු කළේ කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වැටුප් ලෙස රුපියල් 54,000 ක් ලැබෙන අතර, ඉන්ධන දීමනාව ලෙස රුපියල් 100,000 ට ආසන්න මුදලක්, කාර්යාල දීමනාව රුපියල් 100,000 ක්, දුරකථන දීමනාව 50,000 ක් සහ සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1000 ක් ආදී ලෙස ලැබෙන බවයි අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව වැටුප් ලබා ගැනීමකින් තොරව පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ලබාගන්නේ කෙසේද සහ මන්ත්‍රී නිවාසයේ කුලිය ගෙවන්නේ කෙසේදැයි ආණ්ඩුව විසින් රටට ප්‍රකාශ කළ යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

පාර්ලිමේන්තුව ජනවාරි 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජනවාරි 21 සිට 24 වැනිදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ජනවාරි 21 වනදා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

වැඩබලන අමාත්‍යවරු 05 ක් පත්කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ අමාත්‍යවරුන් පහතින්.

6785cdc9e2afepdf_page_0

විපක්ෂය විදියට අපි කෝප් කමිටුව වර්ජනය කරනවා – අජිත් පී. පෙරේරා

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

පාර්ලිමේන්තු කමිටු සඳහා සාමාජිකයින් පත් කිරීමේදී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව ඇති බවයි ඔහු පවසා සිටියේ.

කෝප් කමිටු සභාපතිවරයා ඒකමතිකව පත් කරගත් බවට ප්‍රකාශ වුවද, එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කර ඇති බවයි මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේ.

ඒ අනුව, පවතින තත්ත්වය තුළ සෙසු පාර්ලිමේන්තු කමිටු සඳහා ද සහභාගී නොවීමට විපක්ෂය අදහස් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මීට පුළු මොහොතකට පෙර එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ පිළිබඳ විවාදය සිදුකිරීමෙන් අනතුරුව එම පනත සම්මත කර ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු සහ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් මෙරට සංචාරයේ නිරතවන නියෝජිත කණ්ඩායම් සඳහා මෙරට අමාත්‍යවරු, ප්‍රභූවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට සෘජු වේලාවක් වෙන් කරගැනීම සිදුකරන ආකාරය සම්බන්ධව මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.

එය පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාපටිපාටියට පටහැනි බැවින් මින් පසු එම නියෝජිත කණ්ඩායම් සඳහා අවශ්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ සන්ධාන අංශයට ප්‍රථමව දැනුම් දිය යුතු බවත්, ඒ අනුව සන්ධාන අංශය විසින් මෙරට බලධාරීන්ගෙන් ඒ සඳහා සුදුසු වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවත් එහි සඳහන්.

අදාළ චක්‍රලේඛය පහතින්.

677ba5313ce28pdf_page_1 677ba5312659fpdf_page_0

පාර්ලිමේන්තුව ජනවාරි 07 සිට 10 දක්වා රැස්වෙයි

2025 නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

2025 නව වසර වත්මන් ආණ්ඩුවට අභියෝගාත්මක වසරක් – රෝහිත

2025 නව වසර වත්මන් ආණ්ඩුවට අභියෝගාත්මක වසරක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ජනතාව වෙනුවෙන් ජනතාවාදී ආණ්ඩුවක් ලෙස තම වගකීම ඉටු කිරීමට සිදුවන බවත්, නැතහොත් ජනතා විශ්වාසය බිඳ වැටෙනු ඇති බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටේ ඉන්ධන මිල අඩු කරනවා නම් රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.