අනාගත ජනාධිපතිට බලතල නැති කතාව බොරුවක්

අනාගත ජනාධිපතිවරයා විලියම් ගොපල්ලව මැතිතුමා වගේ නාමමාත්‍ර ජනාධිපතිවරයෙකු පමණයි ඔහුට කිසිම බලයක් නෑ කියලා පසුගිය මාස තුනේ මාධ්‍ය හරහා විවිධ අය මත පල කළා.  ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් රඳවා ගන්න බෑ කියලාත් මේ අය කියලා ලියලා තිබුණා.  අපි ඒක එතරම් ගණන් ගත්තේ නෑ.  නමුත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ ප්‍රකාශයම කර තිබුණා.  ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට හෙලි කළ යුතුයි.

ජනාධිපතිවරයාට තමන් කැමැති අමාත්‍යාංශ ගණනක් රඳවා ගන්න පුළුවන් බවටත් වෙනත් කිසිම අමාත්‍යාංශයකට පවරා නැති විෂයන් සහ ආයතන ජනාධිපතිට අයිති බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ සඳහන් වුණා.  19 වන සංශෝධනයෙන් එම සඳහන ඉවත් කළා.  ඔන්න ඔය නිසා තමයි අනාගත ජනාධිපතිට බලතල නෑ කියා කියන්නේ.  ඇත්තෙන්ම ඒක වැරදියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අපි දැන් කියවමු.  “රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය”.  මේ වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍ය සමග සෘජුවම ගැට ගැහිලා තිබෙන නිසා මේක වෙනස් කරන්න පුළුවන් ජනමත විචාරණයක දී ජනතාව අනුමැතිය දුන්නොත් පමණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවක දී තීරණය කර තිබෙනවා. 

මේ වගන්තිය අනුව ජනතාව තමන්ගේ විධායක බලය සම්පූරණයෙන් භාර දෙන්නේ ජනාධිපතිටයි.  ජනාධිපතිට ඒක ඇමතිවරුන්ට පවරන්න පුළුවන්.   කාට හරි පැවරුවේ නැතිනම් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිටයි.  ඒ නිසා ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැති සියළුම විෂයන් අයිති වන්නේ ජනාධිපතිටයි.  ජනාධිපතිට මේ බලය ලැබුණේ 4 වගන්තියෙන්.  44 වගන්තියෙන් කලේ ඒ බලය විස්තර කිරීමක් පමණයි.  19 වන සංශෝධනයේ පියවරු 44 වගන්තිය වෙනස් කළත් 4 වගන්තියට අත තිබ්බේ නෑ.  ඒ නිසා ජනාධිපතිට අමාත්‍යාංශ තබා ගැනීමේ හැකියාව අංශුමාත්‍රයකින් වත් වෙනස් වුණේ නෑ. 

අනාගත ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය වත් තබා ගන්න බෑ කියලා සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළා.  කවුරු හරි එතුමන්ව නොමග යවලා.  4 වන වගන්තියේ විධිවිධාන නිසා වෙනත් කිසිම ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය පවරන්න ජනාධිපතිට බෑ  හෙම කළොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා 2003 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව තමයි 2003 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය එවකට තිලක් මාරපන අමාත්‍යවරයාට භාරදී තිබූ ආරක්ෂක අමාත්‍යාංශය නැවත තමන්ට පවරා ගැනීමට කටයුතු කළේ. ඒ තීන්දුව අදටත් වලංගුයි.

ඒ නිසා අනාගත ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්යෙන් තමන් ළඟ තබා ගත යුතුයි. වෙන කෙනෙකුට දෙන්න ගියොත් එයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා. දෝෂාභියෝගයක් ගෙන ඒමට පදනම් කාරණයක් බවට පත්වෙනවා. ඊට අමතරව තමන් කැමති අමාත්‍යංශ ගනණක් තමන්ට  රඳවා ගැනීමේ බලය තිබෙනවා. මොකද ජනතාව බලය දෙන්නේ ජනාධිපතිට මිසක් වෙනත් කිසිවෙකුට නොවෙයි. මේ පිළිබඳව වෙනත් මත පතුරුවමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම අනවශ්‍යයයි මතය හදන්න හදන පිරිස් වලට

පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතුව මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝග කරනවා.  එහෙම විවාදයක් කලොත් ඇත්ත මොකද්ද කියන එක ජනතාවට දැන ගන්න පුළුවන්.

 

සජිත්ගේ රැළිය නිසා පාර්ලිමේන්තුව හිස් වෙයි

බොහෝ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. පාර්ලිමේන්තුවේ බොහෝ ආසන මේ නිසා හිස්ව තිබුණා.
මෙයට හේතුව සජිත් තෙවන රැළිය බව පැවසෙනවා. එක්සත් ජාතීන්ගේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා ඔහුගේ රැලියකට සහභාගී වීම සඳහා ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කුරුණෑගලට පැමිණ සිටින බව පැවසෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තුවේදී විපක්ෂය මේ පිලිබදව චෝදනාවට ලක් කළා.

පාස්කු ප්‍රහාරයට වඩා CID අවධානය ගෝඨාට බව MR කියයි

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) අවධානය යොමු කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මිස පාස්කු ප්‍රහාරවලට නොවන බව හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද පැවති උත්සවයක් අමතමින් රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ බොරු චෝදනා පිළිබඳව රහස් පොලිසිය විමර්ශනය කරන බවයි.
කෙසේ වෙතත් පාස්කු ඉරිදාට එල්ල වූ මාරාන්තික ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කෙරෙහි රහස් පොලිසිය අවධානය යොමු නොකරන බවත් හිටපු රජයේ සාමාජිකයන්ගෙන් පළිගැනීමට අරමුණු කරගෙන වත්මන් රජය මෙවන් කටයුතු කරන බවත්  ඔහු වැඩි දුරටත් පවසනවා.
“එල්ටීටීඊයේ පරාජයෙන් පසු රට සාමය හා නිදහස භුක්ති වින්දා. නමුත් මේ වසරේ පාස්කු ඉරිදා සාමය බිඳ වැටිලා. ප්‍රහාරයේ වගකීම රජයේ කිසිවෙකු විසින් භාර නොගන්නා අතර ඒ වෙනුවට එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවා” යනුවෙන්ද ඔහු මෙහිදී අදහස් දැක්වුවා.

මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප….

පසුගිය 10 වනදා රාත්‍රියේ බණ්ඩාරවෙල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අද පෙරවරුවේ සිය නීතිඥවරුන් සමඟ මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් වු බව බණ්ඩාරවෙල පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් සහ රුපියල් දස දහසක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරින ලෙසත් එමෙන්ම සෑම ඉරිදා දිනකම සැකකරුවන්ට බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

එ.ජා.ප.යට නව සංවිධායකවරුන් 6ක්….

එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකවරුන් 06 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කර තිබෙනවා.

මෙහිදී ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායක ලෙසත්පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව සංවිධායක ලෙසත්ලලිත් දිසානායක මහතා අරනායක නව සංවිධායකවරයා ලෙසත්තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පාතදුම්බර ආසන සංවිධායක ලෙසත්මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත්,ඩී. එම්. යූ. බී. විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කර තිබෙනවා.

නව ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කර නොමැති බවට රනිල් වික‍්‍රමසිංහ මහතා ගාල්ල යක්කලමුල්ල කරාගොඩ ශී‍්‍ර පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළදෙමහල් භික්ෂු නේවාසිකාගාරය,  දහම්පාසල් ශාලාව හා දානශාලාව සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් සදහන් කරන ලදී. ඩි එස් සේනානායක, ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂ නායකයන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන ස්ථාවරයේ සිට කටයුතු කරනු ලැබූ බවත් තමාගේ ස්ථාවරය ද එය වන බවත්  අග්‍රාමාත්‍ය වරයා පවසන ලදී. අග්‍රාමාත්‍යවරයා එසේ පවසනු ලැබුවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළ ඉංග්‍රීසී භාෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථා කෙටුම්පතක් යනුවෙන් හදුන්වා ඇති බවයි.  

අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම දේශපාලඥයින්ගේ වගකීම මෙන්ම ඔවුන් සිදු කරන  ප්‍රකශ වල වගකීම ඔවුන් සතුය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාලන බලය හිමිවන්නන් ලෙස අපව මුලාවට පත් කිරීමට දේශපාලඥයින්ට ඉඩ දිය නොහැක. නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය පවතින දේශපාලන අර්බුද විසදීම උදෙසා සත්භාවයෙන් ගෙන එන්නක් විය යුතු අතර එය හුදෙක් පක්ෂ හෝ කණ්ඩායම් වල දේශපාලන උවමනා එපාකම් උදෙසා ගෙන එන්නක් නොවිය යුතුය. අලුත් ව්‍යවස්ථාවක් යනු රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට ලැබෙන ප්‍රධාන අවස්ථාවයි. සැබෑ අන්දමින් ජාතික ප්‍රශ්න විසදීමට හැකි ව්‍යවස්ථාවක් ගෙන එම වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරය වන අතර එය එසේ නොවුනහොත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්ෂා බිද වැටීමේ  ආරම්භය එහි දී පටන් ගනු ඇත.

සටහන – පබසරා රාජකරුණා    

මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් වන ලෙස ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසට බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. එහි සභාපති දිවියාගහ යසස්සී නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම ප්‍රකාශයට අත්සන් තබමින් ඉදිරිපත් කර ඇත. ඊට අමතරව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාළ, ධර්ම විජය පදනම, තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංගම්  නියෝජනය කරන මහත්ම මහත්මීන් ඇතුළු 29 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශේෂ ප්‍රකාශය නිකුත් කර ඇත.

රටේ ජනතාවට පවතින ප්‍රශ්න සියල්ල එක සමාන ය. ඒ සදහා ජාතිය ආගම හෝ කුලය අදාළ වන්නේ නැත. නීති සම්පාදන බලය හිමි වන්නේ පාර්ලිමේන්තුව වෙතටය. ඒ වෙනුවෙන් මහජන නියෝජිතයන් 225 දෙනෙකු තෝරා ගනු ලබන්නේම ජනතාව විසින්මය. එකී බලය මහා සංඝරත්නයට කිසිදු නීතියකින් හිමි නොවන්නේය. නමුත් ඉතිහාසය පුරා මහා සංඝරත්නය ලාංකීය දේශපාලනයට කළ බලපෑම ඉමහත්ය.  ආගම හා රාජ්‍ය යනු දෙකකි. නමුත් ලංකාවේ රාජ්‍ය බලය උරුම කර ගැනීමේ සිට එය පවත්වා ගැනීම දක්වා ප්‍රධාන මෙවලමක් බවට මහා සංඝරත්නය භාවිතා කරනු ලබයි. ඇතැම් භික්ෂුන් වහන්සේලා ජාතිවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සුළු ජාතින්  කෙරේ වෛරය පැතිරවීමට සමත්ය. රටක පාලකයන් සියලු දේ කළ යුත්තේ රටක් ඉදිරියට ගෙන යාමට මිස පසු පසට ගෙන යාමට නොවේ. ඒ වෙනුවෙන් කටයුතු කිරීම දේශපාලඥයින්ගේ වගකීම වුවද ඔවුන් සිය වගකීම් පැහැර හැර ඇති සමයක භික්ෂුන් වහන්සේලා ඒ වෙනුවෙන් පෙරමුණ නැගීම ඉතිහාසය පුරාම සිදු විය.

සටහන- පබසරා රාජකරුණා

අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලයක් පත් කලද කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම් දීම සදහා පිහිටුවා ඇති කැබිනට් ප්‍රකාශක තනතුර සදහා මේ වන තෙක් කිසිවෙකු පත් කර නොමැත. සතිපතා කැබිනට් තීරණ දැනුම් දීම උදෙසා මාධ්‍ය හමුවක් පවත්වන අතර මේ හේතුවෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් මෙතෙක් පවත්වා නොමැති බැවින් කැබිනට් තීරණ දැනුම්දීමේ කටයුත්ත ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පෙර කටයුතු කරන ලද්දේ රාජිත සේනාරත්න හා ගයන්ත කරුණාතිලක යන ඇමතිවරුන්ය. නමුත් මෙවර ඔවුන් නැවත එම තනතුරු බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ වන තෙක්ම එම තනතුරු භාර ගැනීම උදෙසා කිසිදු අමාත්‍යවරයෙක් සිය කැමැත්ත ඵල කර නොමැත.

කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ සිවිල් සමාජය වෙත ගෙන එනු ලබන්නේ කැබිනට් මාධ්‍ය හමුව මගින්ය. එකී තීන්දු තීරණ දැන ගැනීම ජනතා අයිතිවාසිකමකි. ඒ වෙනුවෙන් නියෝජිතයෙකු පත් කර ගැනීමට නොහැකි වීම වත්මන් ආණ්ඩුවේ නොහැකියා ප්‍රදර්ශනය කිරීමකි. ශ්‍රී ලංකාව දේශපාලඥයින්ගේ බල අරගල හේතුවෙන් විනාශ වූ රටකි. මේ තත්ත්වය රටේ අවාසනාවකි. ජනතාවට එකී බල අරගලයෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් නැත. එජාප රජය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර පවතින දේශපාලන අර්බුද විසදන බවට සදහන් කල ද ඔවුන්ට තවමත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරු සදහා අමාත්‍යවරයෙකු පත් කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇත. එවැනි තත්ත්වයක අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුවේ 2/3 සහාය ලබා ගැනීමට හැකි වේ දැයි සිතිය නොහැකිය.

සටහන- පබසරා රාජකරුණා

‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්තය

By: ලයනල් බෝපගේ

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලන කතිකාවතේ අඩංගු වන ආවේණික සීමාවන් සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතී. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලනය සහ ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින බොහෝ මතිමතාන්තරවල එකිනෙකට වෙනස් වෘත්තාන්ත පවතී. එවැනි වාතාවරණයක් තුල ‘ගින්නෙන් උපන් සීතල’ වැනි සිනමා කෘතියක් නිෂ්පාදනය කරන්නට ඉදිරිපත් වීමම පවා ප්‍රශංසාවට සහ අගය කිරීමට ලක් විය යුතු කාරණයක් වෙයි.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය 2018 ඔස්කාර් සම්මාන උළෙලේ ‘හොඳම චිත්‍රපටය’ ලෙස ද නිර්දේශ වී තිබුණි. ඉදිරියේ දී මෙම චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරනවා ඇත. එබැවින් චිත්‍රපටය පිළිබඳව මට මෙතෙක් කියවන්නට ලැබී ඇති මූලාශ්‍රවල සඳහන් තොරතුරු මත මේ ලිපිය පදනම් වෙයි. මෙම චිත්‍රපටය හඳුන්වා දී ඇත්තේ “කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ ඒ යකඩ මිනිසුන්ගේ කථාව” යනුවෙනි. මෙම චිත්‍රපටයේ සංකල්පය රචනා කළ ආරියවංශ ධම්මගේ සහ එය අධ්‍යක්ෂණය කළ අනුරුද්ධ ජයසිංහ යන සහෝදරවරු විසින් ඉදිරිපත් කොට ඇති තොරතුරුවලට අනුව මෙම කෘතියේ නිර්මාණය වසර කිහිපයක අත් දැකීම්වල මෙන්ම ඒ අර්බුදකාරී කාල පරිච්ඡේදය පිළිබඳව කරන ලද අධ්‍යයනයක ද ප්‍රතිඵලයක් වේ.

රැඩිකල් ව්‍යාපෘති වෙනුවෙන් පෙනී සිටින නිර්මාණ කරුවන් වැඩි දෙනෙක් විප්ලවකාරී දේශපාලනයේ යෙදෙන අය නොවේ. එසේම විකල්ප දේශපාලනයේ නියැලෙන බොහෝ දෙනෙකුට රැඩිකල් කලා  නිර්මාණ සම්බන්ධයෙන් ඇත්තේ අල්ප අවබෝධයකි. පර්යේෂණාත්මක අධ්‍යයනයන් මත පදනම් වෙමින් කලාත්මක නිර්මාණයේ යෙදෙන්නට උත්සාහ කිරීම් දේශපාලනයට සම්බන්ධ වැඩි දෙනෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී සිටි අධ්‍යක්ෂකවරයා ‘ඉතාම හොඳින් මෙම නිර්මාණය ඉදිරිපත් කිරීමේ වුවමනාවක්’ පැවති බවට කර ඇති ප්‍රකාශයෙන් පෙනෙන්නේ ඔහු සම්ප්‍රදායයෙන් බැහැර වන බව යි. මේ කලා කෘතිය නිර්මාණය කිරීම සඳහා රෝහණ සහෝදරයා යටි බිම් ගතව සිටි කාලය තුල ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ද දේශපාලන සගයන් ද හමු වී සාකච්ඡා කළ බවත් ඔවුන්ගේ සහාය ලැබූ බවත් ඔවුන්ගේ මඟ පෙන්වීම අනුව කටයුතු කළ බවත්, ඔවුන් විසින් “නිවැරැදි කර ගත යුතු තැන් පෙන්වා දෙන” ලද බවත් ඔවුහු පවසා ඇත.

කලා නිර්මාණයකින් යථාර්තය නිරූපනය කරනවාද නැද්ද යන තීරණය රඳා පවතින්නේ නිර්මාණ කරුවන් ඒ නිර්මාණයේ මවා ගත් චරිත සහ රූප රාමු සෞන්දර්යාත්මක ලෙසත්, නිවැරදි ආකාරයටත්, පැහැදිලිවත්, යථාරූපී ලෙසත් නිර්මාණය කර තිබේද යන්න මත යි. අනෙක් අතට, කලා නිර්මාණයක පිලි ගත හැකි හෝ නොහැකි බව හැම විටකම හුදෙක් දේශපාලන සිද්ධාන්ත මත පදනම් වී තීරණය කළ හැක්කක් නොවේ. කලා නිර්මාණයක කලාත්මක ස්වභාවය මැනිය හැක්කේ කලාවට ම අනුරූප වූ සිද්ධාන්ත හා නියාම පදනම් කොට ගෙනයි. කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වන්නේ මෙම නිර්මාණයේ කලාත්මක භාවය පිළිබඳව විචාරයක් කිරීම නොවේ.

නිර්මාණයක දේශපාලන නිවැරැදි බව තීරණය වන්නේ විද්‍යාත්මකවත් තර්කානුකූලවත් කරන විග්‍රහයක් මගිනි. එම නිර්මාණය එක්තරා කාල වකවානුවක දී දෘශ්‍යමාන වන්නේ කවර ස්වරූපයෙන් ද, කවර හේතූන් මත ද යන්න පැහැදිලි කල හැක්කේ දේශපාලන වශයෙන් පමණකි. නිර්මාණයකට පවතින සමාජ ආර්ථික හා දේශපාලන වාතාවරණයෙන් වියෝ වී සිටින්නට නොහැකිය. එසේ වියෝ වුනු නිර්මාණයකට පැවැත්මක් හෝ ආරක්ෂාවක් නැත. අපේ යුගයේ කලා නිර්මාණවල ක්‍රියාත්මක ස්වභාවය නිර්ණය වන්නේ එවැනි නිර්මාණ සමාජය වෙනස් කිරීමේ ප්‍රයත්නයන් සමඟ සම්බන්ධ වන තාක් දුරට පමණි.

මේ ලිපියේ සඳහන් කරන කරුණු දැනට පවතින ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි නායකත්වය ඉලක්ක කර ගෙන ඉදිරිපත් කරන ඒවා නොවන බව අවධාරණය කිරීම මෙහිදී වැදගත් වේ.

මෙම ලිපියට ආසන්නතම සන්දර්භය වූයේ තිඹිරියාගම බණ්ඩාර සහෝදරයාගේ ‘දේශපාලනය සහ ජීවිතය නමැති “ගින්නෙන් උපන් සීතල”’ යනුවෙන් පළ කොට ඇති විචාරය යි. එහි මෙසේ සඳහන් වෙයි:

  1. “දක්ෂිණාංශික රජය 83 වාර්ගික ගැටුම් දඩ මීමා කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරයි. එහි නායකයන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ විට ඔවුන්ට ආරක්ෂාව පතා යටි බිම් ගත දේශපාලන ජීවිතයක් වෙත යාමට බල කෙරුණි.”
  2. “විජේවීර චරිතය අධ්‍යයනය කිරීම සඳහා විවිධ මූලාශ්‍ර ඇසුරු කිරීම හා ඒ බව නාමාවලියෙහි පවා සඳහන් කිරීම අනුරුද්ධගේ යහපත් ලක්ෂණයකි. අපේ ඇතැම් සිනමාකරුවන්ට එබඳු යහගුණ නැත. මිනිසකුට ජීවිතයේ දී බොරු කළ හැක. කලාවේදි බොරු කළ නොහැක.”

මා මෙහිදී එක්තරා පැහැදිලි කිරීමක් කළ යුතු වෙයි.

1983 කළු ජූලි විනාශය (pogrom) දියත් කරන ලද්දේ ජූලි 24 වනදා ය. ජූලි 25 දින වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ රැඳවියන් 37 දෙනෙකු ඝාතනය කෙරුණි. ජුලි 26 දින සමස්ත දිවයිනට ම බලපාන පරිද්දෙන් ඇඳිරි නීතිය පනවන ලදි. ජූලි 28 වන දා දෙවන වතාවටත් වැලිකඩ බන්ධනාගාරයේ තවත් සිරකරුවන් 15 දෙනෙකු ඝාතනය කෙරුණි. ජනාධිපති ජනතාව ඇමතූයේ ජූලි 28 දා යි. ජාතිවාදී කෝලාහල මාර්ගයෙන් බලහත්කාරය යොදවා රාජ්‍ය බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේය යන චෝදනාව යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජූලි 31 දා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී.

ඒ දිනවල මා රැඳී සිටියේ කොළඹ ආමර් වීදියේ පක්ෂ මූලස්ථානයේත් කඩවත මාවරමණ්ඩියේ අප පදිංචිව සිටි නිවසේත් ය. මා පක්ෂ මූලස්ථානයේ රැඳී සිටි නිසා අපේ සාමාජිකයන්ගෙන් කළු ජූලි විනාශය මෙහෙයවූ කණ්ඩායම් පිළිබඳව විස්තර එකතු කර ගත හැකි විය. රහස් පොලිසිය විසින් අපව රඳවා ගනු ලැබූයේ ඊටත් දින දෙකකට පමණ පසුවයි. මා රඳවා ගෙන සිටියදී රජය විසින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නඟා තිබුන අභූත චෝදනාවලට මා එක් රැස් කර ගෙන තිබූ තොරතුරු උපයෝගී කර ගෙන අභියෝග කරන්නටත් මාස කිහිපයකට පසුව චිත්‍රා සහෝදරිය විසින් ගොනු කරන ලද හෙබයාස් කොර්පුස් ආයාචනයක් හේතුවෙන් රඳවා සිටි සියළු දෙනාටම චෝදනා විරහිතව නිදහස ලබන්නටත් හැකි විය.

ජුලි 31 වනදා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට පෙර ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පැවති පක්ෂ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරන්නට කැඳවූ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිය පැවැත්වූයේ ජුලි 21 සිට 23 දක්වා වූ දින තුනේ දී ය. ඒ තංගල්ල විතාරන්දෙණියේ විජිත රණවීර සහෝදරයාගේ නිවසේ පිහිටා තිබූ පක්ෂ පාසලේ දී යි. මෙම සැසි වාරයේදී ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් එතෙක් පැවති පක්ෂ ප්‍රතිපත්තිය වෙනස් කරන්නට ගන්නා ලද තීන්දුව සමඟ මම කිසිසේත්ම එකඟ නොවූයෙමි. මා ඒ සැසියෙන් පිටව ආවේ ඒ තීන්දුව නිසාත් ඒ වන විට පක්ෂ නායකත්වය සමඟ වර්ධනය වී තිබුන අමතර මතවාදී වෙනස්කම් නිසාත් පක්ෂයෙන් ඉවත් වෙන්නට තීරණය කර ගෙනය.

මා මෙහි මතු කරන කාරණය වන්නේ රෝහණ සහෝදරයා යටි බිම් ගත වෙන්නට විජිත රණවීර සහෝදරයාගේ නිවස බලා පිටත්ව ගියේ පක්ෂය තහනම් කලාට පසුව නොව, කළු ජූලි විනාශය ආරම්භ කල දිනය වූ ජූලි 25 වන දාම බවයි. ඔහු පිටත්ව ගිය වාහනය පැදවූයේ තවමත් ජනතා විමුක්ති පෙරමුණ සමඟ කටයුතු කරන සේපාල ලියනගේ සහෝදරයා යි. රෝහණ සහෝදරයා එසේ යටි බිම් ගත වෙන්නට තීරණය කර තිබුනේ පක්ෂයේ දේශපාලණ මණ්ඩල සභිකයන්ගෙන් කරන ලද විමසීමකින් හෝ ඔවුන් සමඟ කල සාකච්ඡාවකින් පසුව නොවේ.

සෝමවංශ අමරසිංහ සහෝදරයා ආමර් වීදිය කාර්යාලයට පැමිණ මා මුණ ගැසුනේත්, පක්ෂ තහනම පිළිබඳව අනෙක් පක්ෂ සමඟ, විශේෂයෙන් ලංකා සමසමාජ පක්ෂය සමඟ මා විසින් කරන ලද සාකච්ඡාවකට සහභාගි වූයේත් ජූලි 31 දායින් පසු දිනක යි. ලංකා සමසමාජ පක්ෂයේ අදහස වූයේ අප යටි බිම් ගත විය යුතු බව වුවද, මම ඒ අදහස සමඟ එකඟ නොවූයෙමි. එසේම රෝහණ සහෝදරයා විසින් යටි බිම් ගත වෙන්නට ඒ අවස්ථාවේ තනිවම ගන්නා ලද තීරණය පිළිබඳවද මම කිසිසේත්ම එකඟ නොවීමි.

මේ සම්බන්ධයෙන් මා එදා දැරුවා වූත් අද දරන්නා වූත් මතය වන්නේ රජය පෙරලීමේ කුමන්ත්‍රණයකට කෙසේ වෙතත්, අඩු තරමේ 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් එක සිද්ධියකට හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි නායකත්වයේ කිසිදු සම්බන්ධයක් නොපැවති හෙයින් ධනේශ්වර රජය නඟමින් තිබූ දේශපාලන හා සාපරාධී චෝදනාවලට අප විවෘත දේශපාලනයේ යෙදෙමින් පිළිතුරු දී ජනතාව තුල ඒ ප්‍රචාරය පරාජය කර දමන්නට කටයුතු කළ යුතුව තිබුණු බව යි. රෝහණ හා ගමනායක සහෝදරවරු වැනි නායකයන් සැඟවී ගත් විට 1983 ජූලි විනාශයට මෙන්ම රජය පෙරලීමේ කුමන්ත්‍රණයකට ද ජනතා විමුක්ති පෙරමුණ ඇත්තෙන්ම සම්බන්ධව සිටින්නට ඇතැයි යන දේශපාලන වශයෙන් සාවද්‍ය මතය සමාජයේ බොහෝ කොටස් අතර තහවුරු වී තිබුණි. කෙසේ වෙතත්, ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ තහනම ඉවත් කරන්නට ලංකාවේ රජයට බල කරන ලෙස ජාතික සහ ජාත්‍යන්තර තලයේ දිගින් දිගටම නොයෙක් අන්දම් ඉල්ලීම් කලේය.

මා රහස් පොලිසියේ හතරවන තට්ටුවේ රඳවා ගනු ලැබ සිටියදී මෙන්ම 1983 දෙසැම්බරයේ නිදහස් කරනු ලැබූ පසුවත් රෝහණ සහෝදරයා විවෘත තලයට ගෙන එන්නට දැරූ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. රජයට ඔවුන්ගේ මතවාදය කාලයක් තිස්සේ රජ කරවා ලන්නට හැකි වූයේ මේ නිසා යයි මම තවමත් කල්පනා කරමි. පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සම්බන්ධයෙන් මා ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා හමු වූ විට ඔහු පැවසූයේ පළමුව ‘රොහාන්’ පැමිණ කට උත්තරයක් දිය යුතු බවයි. ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ සහෝදරයා විවෘත දේශපාලනයට ගෙන එන්නට මා යෝජනා කළ හැම විටම මට ලැබුනු එකම පිළිතුර වූයේ එසේ කළ හොත් ඔහු මරා දමනු ඇති බවයි. එහෙත්, 1983-84 කාලය වන විට දකුණේ එවැනි මරා දැමීම් සිදු වූයේ නැත.

මා දන්නා තොරතුරුවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ සහෝදරයා විවෘත දේශපාලනයට ගෙන එන්නට උත්සාහ කර ඇත්තේ මා පමණක්ම නොවේ. පසුගිය දා අභාවප්‍රාප්ත වූ ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාත්, (රෝහණ සහෝදරයාගේ එක් කුස උපන් සොහොයුරා වූ) ආනන්ද විජේවීර සහෝදරයා සහ (ඔවුන්ගේ සමීපතම මිත්‍රයෙක් සහ ඥාතියෙක් වූ) දෙවිනුවර ආරියදාස සෙල්ලහේවා මහතා මගින් පසුව රෝහණ සහෝදරයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ ‌එකල මුදල් ඇමතිව සිටි රොනී ද මැල් මහතාත් පසු කාලයක දී ඒ ඉල්ලීම ම කර ඇත. රෝහණ සහෝදරයාගේ නීතිඥයා ලෙස ප්‍රින්ස් සහෝදරයාත් ඔවුන්ගේ සුරැකියාවට රොනී ද මැල් මහතාත් රෝහණ සහෝදරයාගේ ආරක්ෂාවට ඉදිරිපත් වෙන්නට කැමැත්තෙන් සිටියදී පවා ජනතා විමුක්ති පෙරමුණට සහ රෝහණ සහෝදරයාට කරන ලද මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලද්දේ මන්දැයි යන්න පැහැදිලි කළ නොහැකිය.

අනෙක් අතට මේ සම්බන්ධයෙන් කෙනෙකුට සාධාරණ දේශපාලන ප්‍රශ්නයක් ද නැඟිය හැකිය. එනම්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විවෘත දේශපාලනයට නොපැමිණිමට තීරණය කරන්නට ඇත්තේ රජය විසින් 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එල්ල කරන ලද චෝදනා ප්‍රයෝජනයට ගනිමින් දකුණේ සිංහල බහුතරය දිනා ගැනීම සඳහා කටයුතු කිරීමේදී දේශපාලන වාසියක් සලසා ගැනීමට අනියම් උත්සාහයක නිරත වී සිටි නිසාද යන්නයි. එවකට උතුරේ දෙමළ ජාතිකවාදී අරගලයට එරෙහිව සිංහල ජාතිකවාදය කර පින්නා ගෙන දකුණේ සිංහල ජාතිකවාදීන්ට සහ ජාතිවාදීන්ට ප්‍රබල වේදිකාවක් ගොඩ නඟා දෙමින් ඔවුන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ එදා සිටි නායකත්වය පසු කාලයේ දී කැපවී කටයුතු කළ ආකාරය අමතක කළ නොහැකිය.

මුලින්ම කොමියුනිස්ට් පක්ෂයේ නායකයෝ පොලිසියට භාර වූහ. පරීක්‍ෂණයකින් ඔවුන් සියළු දෙනාම නිදහස් කරන ලදුව පසුව පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී. මුලදී සැඟවී සිටි නව සමසමාජ පක්ෂ නායකයෝ විජය කුමාරණතුංග සහෝදරයාගේ මැදිහත් වීමෙන් විවෘත දේශපාලනයට පැමිණි අතර අවසාන‌යේදී ඔවුන්ගේ පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී. ඒ කාලයේදි රජය පෙරලා දමන්නට කුමන්ත්‍රණ කරන ලදැයි චෝදනා කොට නඩු පවරන ලද්දේ උතුරේ දෙමළ සටන්කාමී සංවිධානයක් සමඟ එක්ව කටයුතු කළ උඩුවරගේ හෙන්රි පෙරේරා සහෝදරයා ඇතුළු කණ්ඩායමකට එරෙහිව පමණි. 1971 අප්‍රේල් නැඟිටීම සම්බන්ධයෙන් අත් අඩංගුවේ සිටි ඔහු නිදහස ලැබීමෙන් පසු බාලා තම්පෝ සහෝදරයාගේ නායකත්වයෙන් පැවති විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයට එකතු වී කලක් දේශපාලනයේ නිරතව සිටියේය. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට වත් නව සමසමාජ පක්‍ෂයට වත් ජනතා විමුක්ති පෙරමුණට වත් එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කොට තිබුනේ නැත.

යටි බිම් ගත දේශපාලනයේ සහ සන්නද්ධ කටයුතුවල නියැලී සිටි රෝහණ සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සියළු දෙනාම පාහේ 1989 නොවැම්බර් වන විට ඉතා කණගාටුදායක අන්දමින් මරා දමන ලදි. දිගින් දිගටම යටි බිම් ගතව සිටිනවා වෙනුවට ඔවුහු තම නිර්දෝෂීභාවය ජනතාවට ඔප්පු කරමින් පක්ෂ තහනම අභියෝගයට ලක් කළේ නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ දේශපාලන වශයෙන් ස්වයං-කාරක සිය දිවි නසා ගැනීම බොහෝ දුරට සිදු නොවන්නට ඉඩ තිබුනි. හැට දහසක පමණ ජීවිත විනාශය වළක්වා ගත හැකිව තිබිණි.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ චරිත සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගන්නට මා හා සම්බන්ධ වීමට චිත්‍රපට සම්පාදකයන් මුලින් ගත් උත්සාහය හේතුවෙන් නිර්මාණ කරුවන්ට වඩා නිවැරදි ආකාරයටත් පැහැදිලිවත් යථාරූපී ලෙසත් චරිත මවා ගන්නට සහ රූප රාමු නිර්මාණය කරන්නට තිබූ වුවමනාව පැහැදිලි වෙයි. එහෙත් වැඩි කලක් නොයාම ඒ උත්සාහයන් වළක්වා ලන ලදි. ඒ සම්බන්ධයෙන් නිතැතින් ම පැන නැඟෙන ප්‍රශ්න වන්නේ ඒ කවුරුන් විසින් ද, කවුරුන්ගේ වුවමනාවක් වෙනුවෙන් ද, සහ කවුරුන්ගේ ඵල ප්‍රයෝජන ආරක්ෂා කරන්නටද යන්නයි.

දේශපාලන වශයෙන් බැළු විට, 1972 පමණ සිට 1983 ජුලි දක්වා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ පැවති ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙලද, 1983 ජූලි මස පක්ෂය තහනම් කිරීමෙන් පසු, විශේෂයෙන්ම 1986 පමණ සිට 1990 පමණ දක්වා වූ සන්නද්ධ අරගලය දියත් කරන ලද කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙලද අතර පැවතුන වෙනස පිළිබඳ යථාර්තය කුමක්දැයි ‘ගින්නෙන් උපන් සීතල’ නමැති මෙම කලා කෘතියෙන් ජනතාවට එලි දැක්වූයේ නම් එය ලංකාවේ සමාජ සංවර්ධනයට වැදගත් අත් දැකීමක් ගෙන එනවා මෙන්ම ඒ සඳහා සෑහෙන සාධනීය දායකත්වයක් කරන්නට හැකිව තිබුන බවත් පෙනේ.

1989 සන්නද්ධ අරගලයට පෙර ජනතා විමුක්ති පෙරමුණ තුල ඇති කරන ලද ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ අත්දැකීම් මෙන්ම අති දක්ෂිණාංශයේ සිට අති වාමාංශය දක්වා පක්ෂය දෝලනය වීම සඳහා පැවති සමාජ හා දේශපාලන පදනම විග්‍රහ කොට සමාජ සන්තක කර ලීමේ කාර්ය භාරය තවමත් ශේෂ වී තිබේ.

2019 ජනවාරි 5 වන දා

 

 

2019 විසර්ජන පනත් කෙටුම්පතේ අවසන් ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 04 වන දින සිදු කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. 2019 විසර්ජන පනත අනුමැතිය සඳහා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන අතර එය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පෙබරවාරි 05දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීම මාර්තු මස 05 වන දින සිදුකරන අතර තුන්වන වර කියවීමේ විවාදය මාර්තු මස 13වන දින සිදු කිරීමට නියමිතය. 2019 වසරේ නව අයවැය සම්මත කර ගන්නා තෙක් මුල් කාර්තුවේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා ආණ්ඩුව විසින් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගත් අතර 2019 වසර සඳහා වන අයවැය ප්‍රධාන වශයෙන් කාර්ය සාධනය මත පදනම් වූ අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට රජය බලාපරොත්තු වන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරන ලදී.

2019 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත නව අයවැය මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම නව රජයේ අපේක්ෂාව වන අතර ඒ අනුව අමාත්‍යාංශවල වැය ශීර්ෂ සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබනුයේ අදාළ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ක්‍රියාකාරි සැලසුම් ඉදිරිපත් කිරීමේ පදනම මතය. රාජ්‍ය ආදායම් ප්‍රතිශතය තව දුරටත් වර්ධනය කර ගනිමින් 2019 වර්ෂයේ එය  17% දක්වා වැඩි කිරීමට රජය අපේක්ෂා කරයි. එමෙන්ම පුනරාවර්තන වියදම්දළ දේශිය නිෂ්පාදිතයෙන් 15%ප්‍රතිශතයකට සීමා කිරීමරජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% ක ප්‍රතිශතයක පවත්වාගෙන යාමඅයවැය හිඟය දළ දේශිය නිෂ්පාදිතයෙන් 3.5% ප්‍රතිශතයකට සීමා කිරීම සහ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාමත් අපේක්ෂා කරනු ලබයි.

සටහන – පබසරා රාජකරුණා