බදු නිසා ඉතිහාසයේ විශාලම බුද්ධිගලනය සිදුවෙමින් තිබෙනවා – අනුර කුමාර දිසානාය​ක

ජනතාව එකතුවිය යුත්තේ ජනවරමක් ඇති පාලනයකට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා.

වර්තමානයේ ඇති බොහෝ බදු 2020 පැවති ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවත් එම ඉක්මයෑම සිදුවී ඇත්තේ, උද්ධමනය විශාල ලෙස වැඩිවී ඇති අවස්ථාවක සහ ආදායම් විශාල ලෙස අහිමි වී ඇති අවස්ථාවක බවයි ඔහු සඳහන් කළේ.

යම්කිසි පුද්ගලයෙක් ලක්ෂ 3 ක වැටුපක් ගත් පමණින් එම මුදල ඔහුගේ අතට නොලැබෙන බවත් ඔහු එම මුදලින් නිවාස ණය ,වාහන ලීසිං වාරික සහ දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කළ පසු ඔහුගේ අතට ලැබෙන්නේ එම වැටුපෙන් කුඩා ප්‍රමාණයක් බවත් මේ වන විට රජය එම වැටුපට බද්දක් අයකර ඇති අතර මෙම බද්ද නිසා මෙරට සිදුවන විශාලතම බුද්ධිගලනය නැවැත්වීමට නොහැකි බවද අනුර කුමාර දිසානායක සඳහන් කළා.

ඒ අනුව ජනතාව මෙම බදු පැනවීම යුක්ති සහගත නොවන බවත් ජනතාව මත අසීමිත ලෙස බදු පටවන අවස්ථාවේ මෙරට ආර්ථිකය අර්බුදයට පත්කළ පුද්ගලයින් පොත් ලියන බවද ඔහු සඳහන් කළා.

75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් – ජනපති

නිදහස් සැමරුම වෙනුවෙන් රජය මුදල් වැය කරන බවට ඇතැමුන් චෝදනා නැගුවත් එය අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නිදහසේ සියවන සැමරුම දක්වා වූ වසර 25කදී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙල වෙනුවෙන් නව ආයතන ගණනාවක් ඇති කිරීමට පියවර ගන්නා බවයි අද (17) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබාගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

1

2

3

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව​ට සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනුකෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන පිරිස ඉදිරිපත් කළ පැමිණිලි අභියාචනාධිකරණ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිල්ල නැවත පෙබරවාරි මස 23 වනදා කැඳවීමට ද නියම කර තිබෙනවා.

ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස මුදල් අච්චු ගැසීම නවතා තිබෙනවා – බන්දුල ගුණවර්ධන

ප්‍රතිපත්තියක් ලෙස මේ වනවිට මුදල් අච්චු ගැසීම නවතා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ හේතුවෙන් එදිනෙදා වියදම් දරාගැනීමට නොහැකිව විශාල අර්බුදයකට මුහුණදෙමින් ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

දෙසැම්බර් මාසයේ වියදම් දැරූ ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් විමසීමක් කළ බවත් ඒ අනුව එම මාසයේ බදු හා බදු නොවන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබී ඇත්තේ රුපියල් බිලියන 141 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව පරිපාලන වියදම් බිලියන 154 ක් වැයවී ඇති බවත් රුපියල් බිලියන 141 කින් බිලියන 154 ක් දරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මේ වන විට මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට නොහැකි මට්ටමට පත්ව ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

 

දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින් තරග කිරීමට ශ්‍රීලනිපය තීරණය කරයි

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අත ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව උතුරු, නැගෙනහිර පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අත ලකුණින් තරග කිරීමටත්, කොළඹ, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා හෙලිකොප්ටරය ලකුණින් තරග කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

සෙසු දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා අත ලකුණ සහ හෙලිකොප්ටරය යන ලකුණු දෙකම භාවිත කරමින් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ සඳහන් කළේ.

අපේ පක්ෂයට තිබුණේ මතුපිටින් නිර්මාණය කරපු විරෝධතාවක් – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව සමාජයේ ඇතිවූ විරෝධය මතුපිටින් නිර්මාණය කරන ලද විරෝධයක් පමණක් බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව මේ වන විට ජනතාව එම සත්‍ය තේරුම් ගනිමින් සිටින බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මෙවර මැතිවරණයේදී සමහර පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ද එම ලැයිස්තුවට ඇතුළත් කරන බවත් තවත් පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන අතර එම ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්ද ඇතුළත් කරන බවද සාගර කාරියවසම් සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ හා චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

මෙරටට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චින් ෂූ (Chen Zhou) ඇතුළු පිරිසක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.

දුම්රිය සේවය සඳහා සේවකයින් 3,000 ක් බඳවා ගැනීමට කටයුතු කරනවා – බන්දුල ගුණවර්ධන

දුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීම සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දීර්ඝ කාලයක් සේවකයන් බඳවාගෙන නොමැති බවත් සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීමට ක්‍රමයක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දැනට රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින කාර්ය සාධක බළකායේ සිටින සේවකයන්ගෙන් 3,000ක් දුම්රියට බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

පාඨලී සහ වෙල්ගම සන්ධානගත වෙයි

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තවත් පක්ෂ දෙකක් සන්ධානගතව ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම එකඟතාවයකට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක සඳහන් කළේ.

හෙළිකොප්ටරයේ විධායක සභා රැස්වීමක් අද

නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද පස්වරු 6.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙන අතර එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් පක්ෂ අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා හෙළිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටුවීමට කටයුතු කළා.