දිවයින පුරා මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක ජනගත කෙරේ

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම දුරකථන අංකවලට ඇමතීමෙන් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මහජන ගැටලු යොමු කිරීමේ හැකියාව පවතිනවා.

අදාළ දුරකථන අංක පහතින්.

480cf8178ee914259360be24be47af88

අපි වැඩි හරියක් ඡන්දය ඉල්ලුවෙත් ඡන්දය දුන්නේත් රට වෙනුවෙන් නෙවෙයි, අපි වෙනුවෙන් – ජනපති

මෙවර තමන් පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නොව, අද රටට අහිමි වී ඇති නිදහස යලි දිනාගැනීම පිළිබඳ කතාවක් බව නිදහස් දිනය වෙනුවෙන් ජාතිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බොහෝ දෙනෙක් මෙතෙක් කල් ඡන්දය දුන්නේ රට වෙනුවෙන් නොවන බවත්, තමන් වෙනුවෙන් රැකියාවක් ගැනීමට, දරුවෙක් පාසලට දාගැනීමට, ටෙන්ඩරයක් පාස් කරගැනීමට වැනි පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම අපේක්ෂකයන් වැඩි හරියක් ඡන්දය ඉල්ලුවේද රට වෙනුවෙන් නොවන බවත්, තමන් වෙනුවෙන් බලය ලබා ගැනීමට, වරප්‍රසාද භුක්ති විඳිමට සහ වැඩිපුර ටිකක් හම්බ කරගැනීමට වැනි පෞද්ගලික වාසි බලාපොරොත්තු බව ජනාධිපතිවරයා පවසනවා.

සියලු දෙනා පොරොන්දුවලට කොටු වී සටන් පාඨවලට හිර වූ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා කියා සිටියේ මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්නට පටන් ගත් බවයි.

දේශපාලනඥයින් පොරොන්දු ඉටු කිරීම සඳහාත්, සටන් පාඨවලින් කියූ දේ සනාථ කිරීම සඳහාත් වැඩි වැඩියෙන් ණය ගැනීමට පෙළඹුණු බවද, ඒ හරහා රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටුනු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

තමා උත්සාහ කරන්නේ මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දීමට නොව, රෝග නිධානයට පිළියම් යෙදීමට බවද, එය දුශ්කර වුවත් යා යුතු එකම මාර්ගය එය බවද 75 වන නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියා.

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්.

9a32db3cfd625c17841ee9b71c9f9866

7776e1b6334475ae7723ec787ea7c697

cc7190c3a5bb876d160def02eed0a96b

ඉදිකිරීම්කරුවන්ගේ හිඟ මුදල් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවනවා – බන්දුල

රට තුළ ඉතා විශාල ආර්ථික අර්බුද තත්වයක් පැනනැගී තිබුනත් මේ වන විට ඉදිකිරීම් ඇන හිටීමෙන් සහ හිඟ මුදල් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ඉදිකිරීම් සමාගම් වලට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 11.6ක භාණ්ඩාගාර බැදුම්කරයක්‌ ලබා දී ඇති බව ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එමෙන්ම අදාළ ගෙවීම් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

බංකොලොත් රටකට නිදහස් දින සැමරුමක් සඳහා මේ තරම් වියදමක් කළ හැකිද? – සජිත්

නිදහස් දින සැමරුම සඳහා සිදු කර ඇති වියදම් සැලකීමේදී, බංකොලොත් රටකට මෙතරම් සම්පත් ප්‍රමාණයක් නිදහස් දින සැමරුමක් සඳහා වැය කළ හැකිදැයි විමසිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම පවසනවා.

රටේ පුරවැසියන් සැම අභිමානවත් ලෙස රටේ නිදහස සැමරුවද, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ පළමු වතාවට රට බංකොලොත් වී ඇති පසුබිමක ඒ සඳහා මෙතරම් වියදම් නොකළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කර තිබූ 2023 නිදහස් දින සමරු උළලේ දළ වියදම් ඇස්තමේන්තුව පහතින්.

91cc5757b9b67dce053ee9ec6d62905b

4a35bc693e0ad6dfbff100e0ec766a11

මෙරටට සැබෑ නිදහස ලැබෙන්නේ මාර්තු 09 වනදා – සමන්ත විද්‍යාරත්න

එළඹෙන මාර්තු 09 වැනිදා මෙරටට පොදු ජන යුගයක් නිර්මාණය වන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න පවසනවා.

අද දින නිදහස් උත්සවය චාම් ලෙස පවත්වා, ඉතිරි මුදල් බෙහෙත්, පොහොර මිලදී ගැනීමට යොදා නොගත්තේ, පිරිසකට තම ප්‍රතිරූපය නිර්මාණය කරගැනීමට සහ ඔවුන්ගේ අභිමානය ලෝකයට පෙන්වීමට අවශ්‍ය වුනු නිසා බව ඔහු පෙන්වා දෙනවා.

මාර්තු 09 වන දින මෙරටට ඇත්ත නිදහස ලබාගැනීමට හැකි වන දිනයක් වනු ඇති බවද එදින මේ රටේ පොදුජනයාගේ යුගයක් නිර්මාණය වෙන බවද ඔහු අවධාරණය කරනවා.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් දැනුම් දීමක්

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් සිදු නොකරන බවත්, ඒ වෙනුවට වී මෙට්‍රික් ටොන් 66,000ක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගැනීමට රජය තීරණය කරන ලද බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

කරු ජයසූරිය ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට එක්වරක් පමණක් පිරිනමන ඉහළම සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයෙන් හිටපු කතානායක කරු ජයසූරිය පිදුම් ලබා ඇති බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති මන්දිරයේ දී අදාළ සම්මානය කරු ජයසූරිය වෙත පිදූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ.

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා මෙම ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය කරු ජයසූරිය වෙත පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණා.

තැපැල් ඡන්දය පවත්වන දින ප්‍රකාශයට පත් කෙරේ

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දිනයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් නිකුත් කළ විශේෂ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට පිළිගන්වයි

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදුකර තිබෙනවා.

සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සහ සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිළිගන්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල් දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අලෙවි කෙරෙන බවයි සඳහන් වන්නේ.

වික්ටෝරියා නුලන්ඩ් හා ජනපති අතර හමුවක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

එහිදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් වික්ටෝරියා නුලන්ඩ්ට සිය ස්තූතිය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමටද වික්ටෝරියා නුලන්ඩ් සිය එකඟත්වය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.