සජිත් රනිල් සාකච්චා කල් යයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර අද (08) පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව කල් දමා තිබෙනවා. අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ එම සාකච්ඡාව ලබන අඟහරුවාදා දක්වා කල් දමා ඇති බවයි.
එහිදී “සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යබහුලත්වය නිසා තමයි සාකච්ඡාව කල්දැමුණේ. එදිනට අපි දැනට අපි සතුව තියෙන සමීක්ෂණවල වාර්තා භාර දෙනවා.  කොහොමත් අපි ඉස්සරහට තිබ්බ අඩිය පස්සට තියන්නේ නෑ. ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා.. වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා.. කියලා කතාවක් තියෙනවා නේ.. ඒ නිසා අපිත් එතන ඉන්නවා. අනිවාර්යයෙන්ම දෙවන පියවරක් තියෙනවා. ” යනුවෙන්ද සඳහන් කෙරුණා.
මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඊයේ (07) ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා ද ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වී සිටින බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමග පැවති හමුවේදී ප‍්‍රකාශ කළ බවයි.
කෙසේවෙතත්, එම සාකච්ඡාවේදී එවැනි එකඟතාවයකට නොපැමිණි බව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළා.
ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති අර්බුදය ඉදිරි  දින කිහිපයේදී විසදෙනු ඇති බවයි එහි භාණ්ඩාගාරික කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කොළඹ ඊයේ පැවති සමුළුවක් අමතමින් ප‍්‍රකාශ කළේ.

ජවිපෙ ජාතික බලවේගය මේ මස මැදදී කරළියට

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගයේ සංවිධාන යාන්ත්‍රණයක් දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අදහස් කරනවා. ඊට අදාල සැලැස්මක් මේ වනවිට සකස් කරමින් සිටින බවයි පැවසෙන්නේ.  ඒ අනුව මේ මස මැද භාගයේ සිට ජවිපෙ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව ගෙයින් ගෙට ගොස් දැනුමත්  කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා.
මේ සදහා ජාතික ජනබල වේගය ලෙස කමිටුවක් ජවිපෙ පත් කර ඇති අතර ඔවුන් ඊට අදාල  ප්‍රතිපත්ති මාලාව සකස් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලයකින්  අවශ්‍ය කරුණු සකස් කරමින් සිටිනවා.
ඒ පිළිබදව අප කල විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස් මහතා පැවසුවේ මෙවැන්නක්,
 ” අපි සැලසුමක් ඇතිව අපේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටිනවා. ජාතික ජනබල වේගයේ සංවිධාන කටයුතු බිම් මට්ටමින් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව සැප්තැම්බර් 01 වෙනිදා සියළුම පළාත් පාලන මන්ත්‍රිවරුන් කොළඹට ගෙනල්ලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළා. සැප්තැම්බර් 08 වෙනිදා සිට දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයේ සාකච්ජා ආරම්භ කරනවා. සැප්තැම්බර් මාසයේ මැද භාගයේදී අපි බලාපොරොත්තු වෙනවා ගෙයින් ගෙට ගොස් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න. ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රචාරක රැළි පැවැත්වීමට”

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් සහ කරුගේ සහාය ඇතිව තරඟ කරන සජිත්

මීළඟ ජනාධිපතිවරණයට රනිල් සහ කරූගේ සහාය ඇතිව තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක (යූඑන්පී) සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද සවස කුරුණගලෙහි පැවති රැලිය අමතමින්.
 එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති අතර සජිත් ප්‍රේමදාස හැර වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය යන දෙදෙනාම තරඟකරුවන් අතර වෙනවා.
අද දින කුරුණෑගල පැවති රැලියට එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වූයේ ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීමට ප්‍රේමදාස දැරූ උත්සාහයට සහයෝගය දක්වමින්.
තව දුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා අවධාරනය කළේ තම දෑත් පිරිසිදුව පවතින බවත් ඔහු දූෂණයට හෝ සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ නැති බවත් තමාට එරෙහිව බොරු චෝදනා නගන නමුත් ඒවාටද තමන් කම්පා නොවන බවයි.
තමාට එරෙහිව වැඩි වැඩියෙන් චෝදනා එල්ල වන තරමට ඔහු ජනතාව වෙනුවෙන් වැඩි යමක් කිරීමට අධිෂ්ඨාන  කර ගන්නා බව ද ප්‍රේමදාස මහතා රැළිය අමතමින් වැඩි දුරටත් සදහන් කළා.

අනාගත ජනාධිපතිට බලතල නැති කතාව බොරුවක්

අනාගත ජනාධිපතිවරයා විලියම් ගොපල්ලව මැතිතුමා වගේ නාමමාත්‍ර ජනාධිපතිවරයෙකු පමණයි ඔහුට කිසිම බලයක් නෑ කියලා පසුගිය මාස තුනේ මාධ්‍ය හරහා විවිධ අය මත පල කළා.  ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් රඳවා ගන්න බෑ කියලාත් මේ අය කියලා ලියලා තිබුණා.  අපි ඒක එතරම් ගණන් ගත්තේ නෑ.  නමුත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ ප්‍රකාශයම කර තිබුණා.  ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට හෙලි කළ යුතුයි.

ජනාධිපතිවරයාට තමන් කැමැති අමාත්‍යාංශ ගණනක් රඳවා ගන්න පුළුවන් බවටත් වෙනත් කිසිම අමාත්‍යාංශයකට පවරා නැති විෂයන් සහ ආයතන ජනාධිපතිට අයිති බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ සඳහන් වුණා.  19 වන සංශෝධනයෙන් එම සඳහන ඉවත් කළා.  ඔන්න ඔය නිසා තමයි අනාගත ජනාධිපතිට බලතල නෑ කියා කියන්නේ.  ඇත්තෙන්ම ඒක වැරදියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අපි දැන් කියවමු.  “රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය”.  මේ වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍ය සමග සෘජුවම ගැට ගැහිලා තිබෙන නිසා මේක වෙනස් කරන්න පුළුවන් ජනමත විචාරණයක දී ජනතාව අනුමැතිය දුන්නොත් පමණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවක දී තීරණය කර තිබෙනවා. 

මේ වගන්තිය අනුව ජනතාව තමන්ගේ විධායක බලය සම්පූරණයෙන් භාර දෙන්නේ ජනාධිපතිටයි.  ජනාධිපතිට ඒක ඇමතිවරුන්ට පවරන්න පුළුවන්.   කාට හරි පැවරුවේ නැතිනම් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිටයි.  ඒ නිසා ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැති සියළුම විෂයන් අයිති වන්නේ ජනාධිපතිටයි.  ජනාධිපතිට මේ බලය ලැබුණේ 4 වගන්තියෙන්.  44 වගන්තියෙන් කලේ ඒ බලය විස්තර කිරීමක් පමණයි.  19 වන සංශෝධනයේ පියවරු 44 වගන්තිය වෙනස් කළත් 4 වගන්තියට අත තිබ්බේ නෑ.  ඒ නිසා ජනාධිපතිට අමාත්‍යාංශ තබා ගැනීමේ හැකියාව අංශුමාත්‍රයකින් වත් වෙනස් වුණේ නෑ. 

අනාගත ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය වත් තබා ගන්න බෑ කියලා සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළා.  කවුරු හරි එතුමන්ව නොමග යවලා.  4 වන වගන්තියේ විධිවිධාන නිසා වෙනත් කිසිම ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය පවරන්න ජනාධිපතිට බෑ  හෙම කළොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා 2003 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව තමයි 2003 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය එවකට තිලක් මාරපන අමාත්‍යවරයාට භාරදී තිබූ ආරක්ෂක අමාත්‍යාංශය නැවත තමන්ට පවරා ගැනීමට කටයුතු කළේ. ඒ තීන්දුව අදටත් වලංගුයි.

ඒ නිසා අනාගත ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්යෙන් තමන් ළඟ තබා ගත යුතුයි. වෙන කෙනෙකුට දෙන්න ගියොත් එයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා. දෝෂාභියෝගයක් ගෙන ඒමට පදනම් කාරණයක් බවට පත්වෙනවා. ඊට අමතරව තමන් කැමති අමාත්‍යංශ ගනණක් තමන්ට  රඳවා ගැනීමේ බලය තිබෙනවා. මොකද ජනතාව බලය දෙන්නේ ජනාධිපතිට මිසක් වෙනත් කිසිවෙකුට නොවෙයි. මේ පිළිබඳව වෙනත් මත පතුරුවමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම අනවශ්‍යයයි මතය හදන්න හදන පිරිස් වලට

පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතුව මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝග කරනවා.  එහෙම විවාදයක් කලොත් ඇත්ත මොකද්ද කියන එක ජනතාවට දැන ගන්න පුළුවන්.

 

සජිත්ගේ රැළිය නිසා පාර්ලිමේන්තුව හිස් වෙයි

බොහෝ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. පාර්ලිමේන්තුවේ බොහෝ ආසන මේ නිසා හිස්ව තිබුණා.
මෙයට හේතුව සජිත් තෙවන රැළිය බව පැවසෙනවා. එක්සත් ජාතීන්ගේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා ඔහුගේ රැලියකට සහභාගී වීම සඳහා ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කුරුණෑගලට පැමිණ සිටින බව පැවසෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තුවේදී විපක්ෂය මේ පිලිබදව චෝදනාවට ලක් කළා.

පාස්කු ප්‍රහාරයට වඩා CID අවධානය ගෝඨාට බව MR කියයි

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) අවධානය යොමු කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මිස පාස්කු ප්‍රහාරවලට නොවන බව හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද පැවති උත්සවයක් අමතමින් රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ බොරු චෝදනා පිළිබඳව රහස් පොලිසිය විමර්ශනය කරන බවයි.
කෙසේ වෙතත් පාස්කු ඉරිදාට එල්ල වූ මාරාන්තික ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කෙරෙහි රහස් පොලිසිය අවධානය යොමු නොකරන බවත් හිටපු රජයේ සාමාජිකයන්ගෙන් පළිගැනීමට අරමුණු කරගෙන වත්මන් රජය මෙවන් කටයුතු කරන බවත්  ඔහු වැඩි දුරටත් පවසනවා.
“එල්ටීටීඊයේ පරාජයෙන් පසු රට සාමය හා නිදහස භුක්ති වින්දා. නමුත් මේ වසරේ පාස්කු ඉරිදා සාමය බිඳ වැටිලා. ප්‍රහාරයේ වගකීම රජයේ කිසිවෙකු විසින් භාර නොගන්නා අතර ඒ වෙනුවට එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවා” යනුවෙන්ද ඔහු මෙහිදී අදහස් දැක්වුවා.

මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප….

පසුගිය 10 වනදා රාත්‍රියේ බණ්ඩාරවෙල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අද පෙරවරුවේ සිය නීතිඥවරුන් සමඟ මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් වු බව බණ්ඩාරවෙල පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් සහ රුපියල් දස දහසක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරින ලෙසත් එමෙන්ම සෑම ඉරිදා දිනකම සැකකරුවන්ට බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

එ.ජා.ප.යට නව සංවිධායකවරුන් 6ක්….

එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකවරුන් 06 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කර තිබෙනවා.

මෙහිදී ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායක ලෙසත්පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව සංවිධායක ලෙසත්ලලිත් දිසානායක මහතා අරනායක නව සංවිධායකවරයා ලෙසත්තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පාතදුම්බර ආසන සංවිධායක ලෙසත්මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත්,ඩී. එම්. යූ. බී. විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කර තිබෙනවා.

නව ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කර නොමැති බවට රනිල් වික‍්‍රමසිංහ මහතා ගාල්ල යක්කලමුල්ල කරාගොඩ ශී‍්‍ර පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළදෙමහල් භික්ෂු නේවාසිකාගාරය,  දහම්පාසල් ශාලාව හා දානශාලාව සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් සදහන් කරන ලදී. ඩි එස් සේනානායක, ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂ නායකයන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන ස්ථාවරයේ සිට කටයුතු කරනු ලැබූ බවත් තමාගේ ස්ථාවරය ද එය වන බවත්  අග්‍රාමාත්‍ය වරයා පවසන ලදී. අග්‍රාමාත්‍යවරයා එසේ පවසනු ලැබුවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළ ඉංග්‍රීසී භාෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථා කෙටුම්පතක් යනුවෙන් හදුන්වා ඇති බවයි.  

අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම දේශපාලඥයින්ගේ වගකීම මෙන්ම ඔවුන් සිදු කරන  ප්‍රකශ වල වගකීම ඔවුන් සතුය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාලන බලය හිමිවන්නන් ලෙස අපව මුලාවට පත් කිරීමට දේශපාලඥයින්ට ඉඩ දිය නොහැක. නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය පවතින දේශපාලන අර්බුද විසදීම උදෙසා සත්භාවයෙන් ගෙන එන්නක් විය යුතු අතර එය හුදෙක් පක්ෂ හෝ කණ්ඩායම් වල දේශපාලන උවමනා එපාකම් උදෙසා ගෙන එන්නක් නොවිය යුතුය. අලුත් ව්‍යවස්ථාවක් යනු රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට ලැබෙන ප්‍රධාන අවස්ථාවයි. සැබෑ අන්දමින් ජාතික ප්‍රශ්න විසදීමට හැකි ව්‍යවස්ථාවක් ගෙන එම වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරය වන අතර එය එසේ නොවුනහොත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්ෂා බිද වැටීමේ  ආරම්භය එහි දී පටන් ගනු ඇත.

සටහන – පබසරා රාජකරුණා    

මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් වන ලෙස ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසට බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. එහි සභාපති දිවියාගහ යසස්සී නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම ප්‍රකාශයට අත්සන් තබමින් ඉදිරිපත් කර ඇත. ඊට අමතරව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාළ, ධර්ම විජය පදනම, තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංගම්  නියෝජනය කරන මහත්ම මහත්මීන් ඇතුළු 29 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශේෂ ප්‍රකාශය නිකුත් කර ඇත.

රටේ ජනතාවට පවතින ප්‍රශ්න සියල්ල එක සමාන ය. ඒ සදහා ජාතිය ආගම හෝ කුලය අදාළ වන්නේ නැත. නීති සම්පාදන බලය හිමි වන්නේ පාර්ලිමේන්තුව වෙතටය. ඒ වෙනුවෙන් මහජන නියෝජිතයන් 225 දෙනෙකු තෝරා ගනු ලබන්නේම ජනතාව විසින්මය. එකී බලය මහා සංඝරත්නයට කිසිදු නීතියකින් හිමි නොවන්නේය. නමුත් ඉතිහාසය පුරා මහා සංඝරත්නය ලාංකීය දේශපාලනයට කළ බලපෑම ඉමහත්ය.  ආගම හා රාජ්‍ය යනු දෙකකි. නමුත් ලංකාවේ රාජ්‍ය බලය උරුම කර ගැනීමේ සිට එය පවත්වා ගැනීම දක්වා ප්‍රධාන මෙවලමක් බවට මහා සංඝරත්නය භාවිතා කරනු ලබයි. ඇතැම් භික්ෂුන් වහන්සේලා ජාතිවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සුළු ජාතින්  කෙරේ වෛරය පැතිරවීමට සමත්ය. රටක පාලකයන් සියලු දේ කළ යුත්තේ රටක් ඉදිරියට ගෙන යාමට මිස පසු පසට ගෙන යාමට නොවේ. ඒ වෙනුවෙන් කටයුතු කිරීම දේශපාලඥයින්ගේ වගකීම වුවද ඔවුන් සිය වගකීම් පැහැර හැර ඇති සමයක භික්ෂුන් වහන්සේලා ඒ වෙනුවෙන් පෙරමුණ නැගීම ඉතිහාසය පුරාම සිදු විය.

සටහන- පබසරා රාජකරුණා