පළාත් පාලන මැතිවරණයට එරෙහි පෙත්සමක් සලකා බැලීම කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම ලබන 23 දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයන්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදෙයි

මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කාරක සභා සඳහා සාමාජිකයන් පත් කෙරේ

09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ තේරීම් කාරක සභා සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ නම් පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා මෙලෙස සාමාජිකයන් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සාමාජිකයන් පහතින්,

d2a0e6c4638e8bc9ab0d90e77919de10

88c660641d2a7b000079414081cfc736

පළාත් පාලන ඡන්දයට එරෙහි පෙත්සම් අද විභාගයට

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වන විභාගය අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.

රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුල මතයක් නිර්මාණය වී ඇති බව ඔහු එමඟින් පෙන්වාදී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 80,000 ක් තරඟ බිමට

එක් එක් පරිපාලන දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 2,529 ක සහ ස්වාධීන කණ්ඩායම් 329 ක නාමයෝජනා පිළිගෙන ඇති අතර තරඟ කරන මුළු අපේක්ෂයන් සංඛ්‍යාව 80,672 ක් බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

එසේම දේශපාලන පක්ෂ 118 ක සහ ස්වාධීන කණ්ඩායම් 45 ක නාමයෝජනා ප්‍රතික්ෂේපවී ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

ඩයනා වරදක් සිදුකර ඇත්නම් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ – මහේස්ත්‍රාත්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පවසා තිබෙනවා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අද (09) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ජනපති මැදුරෙන් හමුවූ මුදල් තමාගේ බව ගෝඨාභය පිළිගනියි

අරගලයේ නිරත වූවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබාදුන් ප්‍රකාශය මඟින් අනාවරණය කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කර තිබෙනවා.

එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සඳහන් කර ඇති බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

එබැවින් මේ වනවිට අධිකරණය භාරයේ ඇති එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියෝගයක් කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

කෙසේ නමුත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ, අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා උපයා ගත් ආකාරය හෝ ඒවා ඔහුට ලැබුණු ආකාරය ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව අනාවරණය කර නොමැති අතර ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විමර්ශනයක් ද සිදු කර නොමැති බවයි.

A.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

A.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A.H.M. ෆවුසි පත් කර තිබුණා.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද (09) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. ඒ අනුව අද උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. 09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

පාර්ලිමේන්තු​වේ නව සැසිවාරය ආරම්භයෙන් පසු තේ පැන් සංග්‍රහයක්

09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ඒ අනුව 09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය සඳහා ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.