තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම හෙට සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම දැනුම් දුන්නා – සාගර කාරියවසම්

හෙට (15) දිනයේ දී තැපැල් ඡන්ද පත්‍රිකාවල බෙදාහැරීම් සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පැවසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

අද (14) මැතිවරණ කොමිසන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දුන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදු කළ නොහැකි බවට රජයේ මුද්‍රණ දෙපාර්තමෙන්තුව මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බව මෙම සාකච්ඡාවේදී දැනුම්දුන් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළා.

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රියා බෙදාහරින බව මීට පෙර දැනුම්දී තිබූ බවත් නමුත් අද පැවති සාකච්ඡාවේදී තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දිනයේ බෙදාහැරීමේ හැකියාවක් නොමැති බවට මැතිවරණ කොමිසම දැනුම්දුන් බවද ඔහු සඳහන් කළා.

මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනත්ව​ය ලබාදිය යුතුයි – පැෆරල් සංවිධානය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඉතිහාසයේ පළමු වතාවට ඡන්ද පත්‍රිකා මුද්‍රණය නැවතී ඇති බවට වාර්තා වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, මීට පෙර පැවති සෑම මැතිවරණයකම බොහෝමයක් රාජ්‍ය ආයතන ගෙවීමේ පදනම මත මැතිවරණ කොමිසම සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවත් පළමුවතාවට මෙවර එම තත්ත්වය වෙනස් වී ඇති බවයි.

මෙහි වගකීම ආණ්ඩුව දැරිය යුතු බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තනි ආණ්ඩුවක් විසින් යටපත් කරන තත්ත්වයක් උදාවී ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනභාවය ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් මේ තුළින් ඉදිරියේදී මැතිවරණ කොමිසමට නිදහසේ මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ ලැබෙන බවද ඔහු සඳහන් කළා.

එසේම ආර්ථික සාධකය මත මැතිවරණය කල් දැමීමට කටයුතු කළහොත් අනාගතයේ එන ඕනෑම පාලකයෙකුට, පාර්ලිමේන්තු මැතිවරණයද ආර්ථික සාධක මත කල් දැමීමට හැකිවීමේ බරපතල අවදානමක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නෑ – බන්දුල ගුණවර්ධන

ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට කිසිසේත් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව මාධ්‍යවේදියෙක් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මහා භාණ්ඩාගාරය එදිනෙදා මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණදී ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකළහොත් ණය ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා ගැනීමට නොහැකිවුවහොත් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රටේ වත්මන් මුදල් තත්ත්වය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය භාර ලේකම්වරයා විසින් අධිකරණයටද කරුණු ඉදිරිපත් කර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව පෙබරවාරි 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව එළැඹෙන 21 වනදා සිට 24 වනදා දක්වා නැවත රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන අඟහරුවාදා (21) උදෑසන 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

20 වනදා සිට නිල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට තැපෑල සූදානම් – තැපැල්පති

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන ඉරිදා (19) දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාරගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

එලෙස මැතිවරණ කොමිසමේ නියමය පරිදි භාරගන්නා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පෙබරවාරි 20 වනදා සිට මාර්තු 03 වනදා දක්වා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු සිදුකරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

ලිපි බෙදීම් තැපැල් කාර්යාල 2000 කට අධික සංඛ්‍යාවක් හා ලිපි බෙදීම් කාර්ය මණ්ඩලය 7800 ක පමණ පිරිසක් සිටින බවත් ඔවුන් හරහා මෙම කාර්ය සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනාට ඇප

අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ දී අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඊයේ (11) රාත්‍රියේ ඔවුන් යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් ලබාදෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23, 24 යන දිනවලදි සිදු කරන බවයි.

යම් දෙයකින් මෙම දින තුනේදී තමන්ගේ ඡන්දය සලකුණු කර ගැනීමට නොහැකි වුවහොත් 28 වනදා තමන්ගේ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවෙන් 36,000 ක් ප්‍රතික්ෂේපවී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

විරෝධතාවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට

යාපනයේ පැවති විරෝධතාවයක් අතරතුරදී අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාප‍නයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

බලශක්තිය, ගමනාගමනය, ජලය හා විදුලිය කිසිම රටක සහනාධාර ලෙස දෙන්නේ නැහැ – එස්.බී

බලශක්තිය, ගමනාගමනය, ජලය හා විදුලිය කිසිම රටක සහනාධාර ලෙස දෙන්නේ නැති බවත් ඊට අදාළ වියදම ජනතාවට දරාගන්න ලෙස අදාළ රටවල් නිර්දේශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

පවතින ආර්ථික අර්බුදයත් එක්ක මේ පවතින වියදම් දරා ගැනීමට නොහැකි වුණත් එය අමාරු වුණත් දරා ගැනීමට වෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ලක්ෂ 30න් එහාට බදු ගහපු එක මාසෙකට ලක්ෂය දක්වා අඩු කිරීමේ දී ඒක ජනතාවට අමාරු බවත් නමුත් මෙම අමාරුකම් දරා ගන්නේ නැතුව කවදාවත් රටක් විදිහට නැඟිටීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

හැමදාම තවත් රටකට හරි, ආයතනයකට හරි ණය වී රටක් විදිහට ඉස්සරහට යාමට නොහැකි බවත්, රටක් ලෙස ශ්‍රී ලංකාවට හොඳටම අමාරු බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටියේ වියදම් දරා ගැනීමට පුරුදු විය යුතු බවයි.

විදුලි බිල, ජල බිල දරා ගන්න අමාරුයි නම් ඒවා අඩුවෙන් පාවිච්චි කරන්න පුරුදු විය යුතු බවත් ජාතික පුවත්පතකට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු වෙන්නේ නෑ – ජනපති

ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින දැඩි අසීරුතාව සහ බදු වැඩි කිරීම නිසා ඇති වූ දුෂ්කරතාව තමා දන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඇතැම් අයගේ වැටුපෙන් බදු හා ණය ගෙවූ පසු ඉතුරු වන්නේ ඉතා සුළු මුදලක් බවත් මේ දුෂ්කරතාව දරාගන්න සිදුවන්නේ තව ඉතා ටික කාලයක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ආණ්ඩුව මේ තීරණ නොගත්තොත් අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැති බව අවධාරණය කරන ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරියේ දී රට පිළිබඳ සිතා තීරණ ගැනීමට සියලු දේශපාලන නායකයින් කැපවනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ආණ්ඩුවටත් ජනප්‍රිය තීරණ ගත හැකි බව පවසා සිටි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු නොවන බවයි.