යාපනයේ පැවති විරෝධතාවයක් අතරතුරදී අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Category: politics_sub
බලශක්තිය, ගමනාගමනය, ජලය හා විදුලිය කිසිම රටක සහනාධාර ලෙස දෙන්නේ නැහැ – එස්.බී
බලශක්තිය, ගමනාගමනය, ජලය හා විදුලිය කිසිම රටක සහනාධාර ලෙස දෙන්නේ නැති බවත් ඊට අදාළ වියදම ජනතාවට දරාගන්න ලෙස අදාළ රටවල් නිර්දේශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.
පවතින ආර්ථික අර්බුදයත් එක්ක මේ පවතින වියදම් දරා ගැනීමට නොහැකි වුණත් එය අමාරු වුණත් දරා ගැනීමට වෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ලක්ෂ 30න් එහාට බදු ගහපු එක මාසෙකට ලක්ෂය දක්වා අඩු කිරීමේ දී ඒක ජනතාවට අමාරු බවත් නමුත් මෙම අමාරුකම් දරා ගන්නේ නැතුව කවදාවත් රටක් විදිහට නැඟිටීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
හැමදාම තවත් රටකට හරි, ආයතනයකට හරි ණය වී රටක් විදිහට ඉස්සරහට යාමට නොහැකි බවත්, රටක් ලෙස ශ්‍රී ලංකාවට හොඳටම අමාරු බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටියේ වියදම් දරා ගැනීමට පුරුදු විය යුතු බවයි.
විදුලි බිල, ජල බිල දරා ගන්න අමාරුයි නම් ඒවා අඩුවෙන් පාවිච්චි කරන්න පුරුදු විය යුතු බවත් ජාතික පුවත්පතකට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.
ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු වෙන්නේ නෑ – ජනපති
ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින දැඩි අසීරුතාව සහ බදු වැඩි කිරීම නිසා ඇති වූ දුෂ්කරතාව තමා දන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඇතැම් අයගේ වැටුපෙන් බදු හා ණය ගෙවූ පසු ඉතුරු වන්නේ ඉතා සුළු මුදලක් බවත් මේ දුෂ්කරතාව දරාගන්න සිදුවන්නේ තව ඉතා ටික කාලයක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ආණ්ඩුව මේ තීරණ නොගත්තොත් අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැති බව අවධාරණය කරන ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරියේ දී රට පිළිබඳ සිතා තීරණ ගැනීමට සියලු දේශපාලන නායකයින් කැපවනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
ආණ්ඩුවටත් ජනප්‍රිය තීරණ ගත හැකි බව පවසා සිටි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු නොවන බවයි.
පළාත් පාලන මැතිවරණයට එරෙහි පෙත්සමක් සලකා බැලීම කල් යයි
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම ලබන 23 දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයන්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි සඳහන් වන්නේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදෙයි
මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.
පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
කාරක සභා සඳහා සාමාජිකයන් පත් කෙරේ
09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ තේරීම් කාරක සභා සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා.
ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ නම් පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බවයි සඳහන් වන්නේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා මෙලෙස සාමාජිකයන් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ සාමාජිකයන් පහතින්,


පළාත් පාලන ඡන්දයට එරෙහි පෙත්සම් අද විභාගයට
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වන විභාගය අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.
රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුල මතයක් නිර්මාණය වී ඇති බව ඔහු එමඟින් පෙන්වාදී තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 80,000 ක් තරඟ බිමට
එක් එක් පරිපාලන දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 2,529 ක සහ ස්වාධීන කණ්ඩායම් 329 ක නාමයෝජනා පිළිගෙන ඇති අතර තරඟ කරන මුළු අපේක්ෂයන් සංඛ්‍යාව 80,672 ක් බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.
එසේම දේශපාලන පක්ෂ 118 ක සහ ස්වාධීන කණ්ඩායම් 45 ක නාමයෝජනා ප්‍රතික්ෂේපවී ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
ඩයනා වරදක් සිදුකර ඇත්නම් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ – මහේස්ත්‍රාත්
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පවසා තිබෙනවා.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අද (09) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ජනපති මැදුරෙන් හමුවූ මුදල් තමාගේ බව ගෝඨාභය පිළිගනියි
අරගලයේ නිරත වූවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබාදුන් ප්‍රකාශය මඟින් අනාවරණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කර තිබෙනවා.
එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සඳහන් කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.
එබැවින් මේ වනවිට අධිකරණය භාරයේ ඇති එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියෝගයක් කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.
කෙසේ නමුත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ, අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා උපයා ගත් ආකාරය හෝ ඒවා ඔහුට ලැබුණු ආකාරය ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව අනාවරණය කර නොමැති අතර ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විමර්ශනයක් ද සිදු කර නොමැති බවයි.
