පාඨලීගේ නායකත්වයෙන් මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක්

මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

“එක්සත් ජනරජ පෙරමුණ” ලෙස එම පක්ෂය නම් කර ඇති බවයි බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවත්, පවුල් උරුමයෙන් සිදුකරන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නියමිත කාලය​ට ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක් – මහින්ද දේශප්‍රිය

මොනයම් තත්ත්වයක් උඩ හෝ නියමිත කාලය තුළ ඡන්ද විමසීම නොපැවැත්වීම මහ අපරාධයක් බවත්, එය කනගාටුදායක තත්ත්වයක් බවත්, එවන් දේවල් රට තුළ සිදු නොවිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

මෙම ගැටලුව විසඳා ගැනීමේ හැකියාව ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව, මුදල් අමාත්‍යංශය, මහ භාණ්ඩාගාරයට පමණක් බවත්, රටේ ජනතාවට නොවන බවයි ඔහු ‍අවධාරණය කරන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදයට රටේ ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, මූලික අයිතිවාසිකම්වල තිබෙන සියලු කරුණු ඇතුළත්ව ඇති බව පෙන්වා දෙන හිටපු කොමසාරිස්වරයා කියා සිටි‍යේ මැතිවරණයක් නොපැවැත්වීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බවට පෙනී යන බවයි.

අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනයට පෙර හෝ සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනයට හෝ පළාත් පාලන මැතිවරණයක් පවත්වනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් හිටපු කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

2048 දී රට භාර ගැනීමට රටේ සිසු පරපුර නවීන තාක්‍ෂණ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි – ජනපති

රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වී, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමඟ වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැතිනම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයත් සමඟ ඉදිරියට යනවාද යන්න අප තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (29) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

මිල ස්ථායි කිරීමේ අරමුදල වහාම ආරම්භ කළ යුතුයි – හර්ෂ

මිල පහළට යනවිට පමණක් නොව ඉහළට යන විටද පාරිභෝගිකයාට සාධාරණයක් වීම සඳහා මිල ස්ථායි කිරීමේ අරමුදල වහාම ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, යම් හේතුවක් නිසා ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවකදී එම අරමුදල හරහා රජයට ඒ සඳහා දායක විය හැකි බවයි.

ඕනෙම මැතිවරණයකට අපි ලෑස්තියි – මහින්ද රාජපක්​ෂ

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, අවශ්‍ය මොහොතේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු කණ්ඩායම් එක්වන බවයි.

කුමන ආකාරයක මැතිවරණයක් පැවතියද තම කණ්ඩායම ඒ සඳහා සූදානම් බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණය ගැන විමසීමට මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවනවා – අගමැති

මැතිවරණය ගැන විමසීමට මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසනවා.

විපක්ෂය යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා සඳහන් කළේ, ඉතා ඉක්මනින් මැතිවරණ කොමිසම කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

විපක්ෂ මන්ත්‍රීවරුන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හෑල්ලුවට ලක්කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, ජාතික ජන බලවේගය හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා අත්සන් තබා ඇති බවයි සඳහන් වන්නේ.

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට මේ වනවිටත් රට මුහුණදී සිටින බවත් එවැනි තත්ත්වයකට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි එම ඒකාබද්ධ ප්‍රකාශය මඟින් සඳහන් කර තිබෙන්නේ.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව අද පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද (23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට හැකිද යන්න එහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදු කිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම ජනපති විසින් සභාගත කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතිනවා.

සජීවී යාවත්කාලීන කිරීම් පහතින්,

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම සභාගත කරනවා.

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබීම තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමට සහ රට නඟා සිටුවීමේ පියවරක්.

* මෙම ණය පහසුකම වසර 4ක් තුළ ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් වන අතර පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලැබෙනවා.

* මීට අමතරව අනෙකුත් පාර්ශවවලින් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාරයක් රට අපේක්ෂා කරනවා.

* මෙමගින් අඩු පොලී ණය සඳහා අවස්ථා නිර්මාණය වනු ඇත, විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය යළි ස්ථාපිත කර ශක්තිමත් නව ආර්ථිකයක් සඳහා පදනම සකසනවා.

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලබා ගැනීමට ජනතාව සිදුකළ කැපවීම විශාල ශක්තියක් වූ බවත් රටේ ජනතාවට සිය කෘතඥතාව පළ කරනවා.

* අපි දැන් අලුත් ගමනක් ආරම්භ කරනවා. මෙම ක්‍රියාවලිය පුරාම අපට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට සිදුවනවා.

* එම ප්‍රතිසංස්කරණවලින් සමහරක් 2022 අතුරු අයවැය සහ 2023 සඳහා වන අයවැය හරහා දැනටමත් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති අතර අපි තවත් ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දෙන්නවා.

ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) උදෑසන 9.30 ට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.