පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගොනුකල පෙත්සම් යළි විභාග කෙරේ

නියමිත දිනයට පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනුකල පෙත්සම් ඊයේ (13) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළිත් විභාගයට ගැනුණා.

මේ වෙනුවෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මුලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනුකර තිබුණා.

වගඋත්තරකරුවකු ලෙස මුදල් අමාත්‍යවරයා නම්කර තිබුණත් ඔහු ඊට  අදාලව විරෝධතා ගොනු නොකිරීම ගැටලු සහගත බවත්, එම විරෝධතා ගොනු කිරීම සඳහා ඔහුට වගකීමක් තිබෙන බවටත් පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර කරුණු ඉදිරිපත් කළා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගොනුකර තිබෙන විරෝධතාවල මැතිවරණය පැවැත්වීම සඳහා  මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැති බව මුදල් අමාත්‍යවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කර තිබු බවත්, මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කර තිබෙන බව පවසා ඇති බවයි නීතිඥවරයා පවසා සිටියේ.

පාර්ලිමේන්තුව ජනවාරි 9 වනදා දක්වා කල් තබයි

අයවැය තෙවන වර ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළිත් ජනවාරි 9 වන දින දක්වා කල් තබා තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ජනවාරි 9 වනදා යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

2024 අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

2024  අයවැය තෙවනවර කියවීම අද (13) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව අයවැය තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 122 ක් හා විපක්ෂව ඡන්ද 81 ක් හිමි වුණා.

6579b049aecfd

6579b04a98b70 6579b04a269b2

රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක වන දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා තිබෙනවා.

ඒ අනුව ලංසු 09 ක් ඉදිරිපත් වී ඇති අතර ලංසු 02 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඉතිරි ලංසු 07 ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙත එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කල් දැමූ VAT සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඇරඹේ

කල් දැමූ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය අද (11) නැවතත් ආරම්භ කර තිබෙනවා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය ඊයේ (10) ආරම්භ කළ අතර ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව යළිත් අද දිනය දක්වා කල් දැමීමට කටයුතු කළා.

VAT බදු පනතට ඡන්දය දෙන්න මම එන්නේ නැහැ – නාමල්

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට ඡන්දය ලබාදීමට තමා නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව අසීමිතව වැට් බද්ද වැඩි කිරීමට විරෝධය පළ කරමින් තමන් මෙම තීරණය ගත් බවත් මේ සම්බන්ධයෙන් පක්ෂය ද දැනුවත් කර ඇති බවයි අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම පනතට විරුද්ධව ඡන්දය ලබාදීම පක්ෂයක් ලෙස මෙතෙක් තීරණය කර නොමැති බවත්, සවස් වරුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

VAT විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නැතිවී පාර්ලිමේන්තුව කල් තබයි

අද (10) විවාදය පැවැත්වෙන අවස්ථාවේ පාර්ලිමේතුවේ ඝන පූර්ණය නොමැතිවී ඇති බවට විපක්ෂය විසින් විරෝධතාවක් මතු කළා.

ඒ අනුව මන්ත්‍රීවරුන් කැඳවීමට නියෝජ්‍ය කතානායකවරයා විසින් සීනුව නාද කිරීමට කටයුතු කර අතර පසුව පාර්ලිමේන්තුව හෙට (11) දක්වා කල් තැබීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සජිත් සාටකයක් පැළඳ පාර්ලිමේන්තු එයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා  සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ අද (07) පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.

ඒ අනුව එම සාටකය පළඳිමින් විපක්ෂ නායකවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වූ බවයි සඳහන් වන්නේ.

දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අප ප්‍රතික්ෂේප කරන බවත් මව්වුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරන අතර ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩයනා, සුජිත් සහ රෝහණට පැනවූ පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව සම්මත වෙයි

ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කිරීම පිළිබඳ යෝජනාව සභානායක විසින් අද (02) සභාගත කළා.

පසුව මෙම තහනම පිළිබඳ යෝජනාව සඳහා පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 57 ක්ද, විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර, මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියා.

ඒ අනුව, අදාළ තහනම් යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශයකට අධිකරණයේ නඩු පැවරිය නොහැකියි – කතානායක

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ සිදුකරනු ලබන ප්‍රකාශයක් මත අධිකරණය හමුවේ නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

අද (30) විපක්ෂ නායකවරයා යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා සඳහන් කළේ, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව පනවා ඇති නඩුව වැරදි සහගත බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව නීතීඥවරයෙක් විසින් ඊයේ (29) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණා.