බාධාවකින් තොරව මැතිවරණය පැවැත්වීමට නියෝගයක් ඉල්ලා අධිකරණයට පෙත්සමක්

බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 35 දෙනෙකු නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

2023 වසර සඳහා මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනය හරහා රුපියල් බිලියන 10ක මුදලක් මැතිවරණ කොමිසම වෙත වෙන්කර දී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිය පෙත්සම මඟින් පෙන්වාදෙන්නේ.

තනතුරු කිහිපයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස චිත්‍රාංගනී වාගීෂ්වර පත්කර ඇති අතර ඊශ්‍රායලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එම්.එච්.එම්.එන්. බණ්ඩාර පත්කර තිබෙනවා.

එමෙන්ම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ පත්කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සී.පී. අතුලුවගේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එන්.කේ.ඒ.ජී. නාරගල පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ලබන 26 වනදා දක්වා රිමාන්ඩ්

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔවුන්ව ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා.

දේශපාලන පක්ෂ නියෝජිතයන් අද මැතිවරණ කොමිසම හමුවට

පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් අද (24) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවන පළමු අවස්ථාව මෙය වනවා.

තනි ආසනයකට ජනපති වෙන්න පුළුවන්නං, ආසන දෙක තුනකට හික්කඩුවේ නගරාධිපති වෙන්න පුළුවන් – වජිර

මෙම මැතිවරණ ව්‍යාපාරයේදී ජාතික එකඟතාවයක් වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ගමේ ජනතාවට නොබැන සියලු දෙනා එකතු කර ගත යුතු බවද, වෙනම ඡන්දය ඉල්ලා සිටියත් තනි ආසනයකින් ජනාධිපති විය හැකි වූවා නම්, ජාතික එකඟතාවයක් ඇත්නම් ආසන දෙක තුනකට හික්කඩුවේ නගරාධිපති විය හැකි බවද ඔහු පවසනවා.

නිදහස් දින සැමරුමට එරෙහිව හිරුණිකා විරෝධතාවක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගාලුමුවදොර ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරතවී තිබෙනවා.

රටේ ජනතාව බොහෝ අසීරුතාවන්ට මුහුණ පා ඇති කාල සීමාවක, මිලියන 200ක් වියදම් කර මෙවර නිදහස් දිනය සැමරීමට එරෙහිවයි මෙම විරෝධතාව සිදුකරන තිබෙන්නේ.

ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින මොහොතක මෙවැනි නිදහස් උත්වයක් සැමරීමට නොහැකි බවද, ජනතාවද මේ සඳහා විරෝධය දැක්විය යුතු බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විධායක නිලධාරීන්ගේ වැටුප දිනක් පමණ ප්‍රමාද විය හැකියි – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා නියමිත පරිදි ගෙවීමට හැකි බවත්, විධායක නිලධාරීන්ගේ වැටුප එදිනම හෝ ඊට පසුදා ගෙවීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145ක් වන අතර රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇති බවට ප්‍රකාශ කර ඇති බවත්, ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625ක් ලෙස ගණන් බලා ඇති අතර නියමිත ආදායම හිමි වුවත් රුපියල් බිලියන 480ක් හිඟයක් ඇති බවද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළා.

දේශපාලන පක්ෂ නියෝජිතයන්ට හෙට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් හෙට මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (23) අවසන්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 න් එම කටයුතු අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අද දිනය තුළ සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත්, තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

අපිට කිසිම අභියෝගයක් නෑ, අපි වැඩ කරපු ආණ්ඩුවක් – මහින්දානන්ද

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේ කිසිඳු අභියෝගයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

වත්මන් ආණ්ඩුව කතාවට පමණක් සීමා නොවූ බවත් යුද්ධය සහ කොරෝනා වසන්ගතයද අවසන් කළ ආණ්ඩුවක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.