සංහිදියා සාකච්ඡාව ගාලගෝට්ටියකින් අවසන් වෙයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් අතර ඊයේ (17) පෙරවරුවේ ඇතිවූ සාකච්ඡවක් උණුසුම් වචන හුවමාරුවකින් අවසන් වී ඇත.

ඊයේ අමාත්‍යංශයට වැඩම කළ ඥානසාර හිමියන් සංහිදියාව හා සහජීවනය ඇතිකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු පියවරයන් පිලිබදව අමාත්‍ය මනෝ ගනේෂන් සමග සාකච්ඡ කළහ.

කෙසේවෙතත් අදාල සාකච්ඡව අතරතුර අමාත්‍යවරයාගේ අර්ථකථන හමුවේ සිය විරෝධය පලකල හිමියන් අමාත්‍යවරයාට නොගැලපෙන අයුරින් “යෝධයා” යැයි බැනවැදීම හේතුවෙන් එම සංවාදය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

එහිදී අදහස් දැක්වූ ඥාණසාර හිමියන් සිංහලයන් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් හා හිමිකරුවන් වුවත් ඔවුන්ට සිංහල රට තුල හිමි තැන නොලැබී ඇති බවත් අනෙකුත් ජාතින් හා ආගම් වල පුද්ගලයන් රටේ ප්‍රමුඛයන් වී ඇති බවට චෝදනා කර ඇත.

එහිදී අමාත්‍යවරයා එවැනි ක්‍රියාවක් සිදුවී නැති බවත් තම අමාත්‍යංශය මගින් ජාතින් අතර සමගිය හා සංහිදියාව ඇතිකිරීමට විශාල පියවරයන් රැසක් ගෙන ඇති බව සදහන් කර තිබෙන අතර එහිදී ඊට විරෝධය පලකල හිමියන් එවැනි කිසිදු ක්‍රියාවක් අමාත්‍යවරයා විසින් ගෙන නොමැති බව සදහන් කිරීම මත මෙම උණුසුම් වචන හුවමාරුව ඇතිවී තිබේ.

කෙසේවෙතත් අදාල සාකච්ඡව ඉදිරියේදී ජාතික සංහිදියාවට තර්ජනයක් හා තවත් ගැටළු රැසක් ඉතිරි කරමින් විසදුමකින් තොරව අවසන්වූව ඇත

බැසිල්ට ඒෙරහි නඩු විභගය අද – පැමිණිල්ලේ සාක්ෂි සටහන් නිසි පරිදි විත්ති පාර්ශවයට ලබා දී නැහැ

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් අව භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහි නඩුව අද (15) කැඳවනු ලැබීය.

එහිදි විත්තිකාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් නිසි පරිදි විත්ති පාර්ශවයට ලබා දී නොමැති බවය.

අදාළ සාක්ෂි සටහන් ලබාදීමට කටයුතු කරන බවට නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පොරොන්දු වී තිබේ.

ඒ අනුව නඩු විභාගය ජුලි මස 26 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ආර් හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයට තවත් අමාත්‍යයධුරයක් ?

උතුරුමැද පළාත් සභාවේ බලය වෙනස් කිරීමට උත්සහ දැරීමෙන් සිදු වන්නේ එම පළාත් සභාව තුළ ද එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර සහයෝගයෙන් බලය පිහිටුවීමට අවස්ථාව ලබාදීම බව අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමඟින් සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂයට  තවත් අමාත්‍යයධුරයක් ලබාදීමට සිදුවීම බවය.

එම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීනවීමට තීරණය කිරීම හේතුවෙන් එහි බහුතර බලය පිළිබඳ  ගැටළුවක් මතුව තිබේ.

කෙසේ වුවද උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අභියෝගයක් ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේ පළාත් සභාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති බලයේ කිසිදු වෙනසක් සිදු නොවන බවය.

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද

ආන්දෝලනයකට තුඩු දී ඇති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද(15) නිකුත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඊට අදාළ ලිපි ලේඛන සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තමන් අත්සන් තැබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කිසිදු වන්දි මුදලක් අය නොකර රෝහල රජයට පැවරීමට රෝහල් බලධාරින් කැමැත්ත පළ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ මෙම තීන්දු තීරණ හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසය.

අද(15) දිනයේ රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයේ විශේෂ විධායක සභාවක් කැඳවා ඇති බව ද වෛද්‍ය  හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රනිල් එකම තීරයක – එකම මාවතක

චීනයේ බීජිං නුවර පැවැත්වෙන “ එකම තීරයක් – එකම මාවතක්“ මහා සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගිය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස චීනයේ කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් බීජිං නුවරට ළඟා වී තිබේ.

චීනයට පැමිණි අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ජෙං යූ මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂියැන්ලියැං මහතා සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණා සේන කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගෙන ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

සමුළුවේ සමාරම්භක උත්සවය හෙට(14) පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං  මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මෙම සමුළුව අතරතුර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පිං , චීන අග්‍රමාත්‍ය ලී කචියාං යන මහත්වරුන් ඇතුළු සමුළුවට පැමිණෙන රාජ්‍ය  නායකයින් කිහිපදෙනෙකු හමුවී ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

නේපාල ජනාධිපතිනි වෙසක් එකට ලංකාවට එයි

ජාත්‍යන්තර වෙසක් දින උළලේ සමාප්ති උත්සවයට සහභාගිවීම සඳහා නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

අද(13) පෙරවරු 10.55ට තායිලන්තයේ බැංකොක් සිට පැමිණි යූ.එල් 403 දරණ ගුවන් යානයෙන් නේපාල ජනාධිපතිවරිය දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේය.

නේපාල ජනාධිපතිවරිය සමඟ 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ සමාප්ති උත්සවය හෙට(14) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විමට නියමිතය.

මේ අතර ලෝක මහා සමුළුව අද(13) පස්වරුවේ පවැත්වීමට නියමිත අතර එහි ප්‍රධාන ආරාධික අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය සහභාගීවනු ඇත.

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට වේදනා නාශක තොගයක් යවා ඇති බවට ෙහළි ෙවයි

ඉන්දියානු සමාගමක් විසින් ශ්‍රී ලංකාව හරහා ලිබියාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට ට්‍රැමඩෝල් වේදනා නාශක පෙති තොගයක් යවා ඇති බවට විදෙස් පුවත් සේවා අනාවරණය කර තිබේ.

ඉතාලියානු පොලීසිය විසින් තම බාරයට ගෙන ඇති එම වේදනා නාශක පෙති, ප්‍රමාණයෙන් මිලියන 37ක් බව හා එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75ක් බව  PTI පුවත් සේවය උපුටා දක්වයි.

වෙළෙඳ වාසි ලබාගැනීම සඳහා හෝ අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රයෝජනය සඳහා  මෙම පෙති ගෙන්වන්නට ඇතැයි ඉතාලි පොලීසිය සඳහන් කර තිබේ.

ඉන්දියානු ෆාමර්සූටිකල් සමාගමක් විසින් මෙම වේදනා නාශක පෙති තොගය අ.ඩොලර් මිලියන 250,000ට අලෙවි කර ඇති බවත්, ඩුබායි කේන්ද්‍ර කරගත් ආනයනකරුවෙකු විසින් මෙම පෙති තොගය ඇනවුම් කර ඇති බවත් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාව හරහා මෙම වේදනා නාශක පෙති තොගය ගෙන්ව‍ා ඇති බවත්, ශ්‍රී ලංකාවේදී මෙම තොගයට අදාළ නිල ලියකියවිලි අතුරුදහන් කෙරෙන බවත්, ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට පත්වනවිට මේවා බ්ලැන්කට් සහ සැම්පු තොගයක් ලෙස නම්කර තිබුණු බවත් PTI පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියි.

මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 85 දක්වා ඉහළට

මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ සංඛ්‍යාව 85ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව සඳහන් වෙයි.
මහාධිකරණ විනිශ්චකාරවරුන් 75 දෙනෙකු වර්තමානයේ අධිකරණ සේවයේ කටයුතු කරනු ලබයි.
මෙරට අධිකරණවල විසඳා අවසන් නොකළ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් කඩිනමින් එම නඩු අවසන් කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
පසුගිය මාර්තු මාසය වන විට සිවිල් අභියාචන මහාධිකරණවල නඩු 5749ක්ද, වාණිජ මහාධිකරණවල නඩු 5580ක්ද, අනෙකුත් මහාධිකරණවල නඩු 16,574ක්ද විභාග වෙමින් පැවති බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන්

ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමිව කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව බුද්ධ ශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

එහි එක් පියවරක් වශයෙන් දම්මුල්ල ශ්‍රී සුධම්ම විහාරස්ථානයේ දී කුලදරුවන් 75 දෙනෙකු සහ ඓතිහාසික රුවන්වැලි මහාසෑය අභියස දී කුලදරුවන් 215 දෙනෙකු සසුන්ගත කළ බව ඇමතිවරයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ ගණනාවක දී ක්‍රියාත්මක වනු ඇති බව කී ඇමතිවරයා විසින් එම වැඩසටහන හඳුන්වනු ලැබුවේ “බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන මහඟු යුතුකමක්” ලෙසය.

ශ්‍රී ලංකාව තුළ “අහස උසට වෙහෙරවිහාර, චෛත්‍ය නිර්මාණය වී තිබුණ ද” ශාසනය ඉදිරියට ගෙන යාම සඳහා කුලදරුවන් අත්‍යවශ්‍යවන බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ අනුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.

මාධ්‍ය නිවේදනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සදහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බව රජයට සම්බන්ද දේශපාලකයන් ප්‍රකාශ කල බව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවේ.එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි.  ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතා විසින් එවැනි නඩුවක් ගොනුකර නොමැත.එම නඩුව ගොනු කර ඇත්තේ  රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි.

එවකට  ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ස මහතා හිටපු ජනාධිපති තුමියගේ ඉල්ලීමක් අනුව එතුමියගේ නිල නිවසට ගොස් සාකච්චාකර   එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම අනුව ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය කරන පහසුකම් ලබාදී ඇත.

අධිකරණ තීන්දුව අනුව එතුමියගේ ආරක්ෂාවේ කිසිදු වෙනසක් කර නොමැත.අධිකරණ තීන්දුවක් තිබුනද එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම් අනුව සැම අවස්ථාවකදීම රජය විසින් සියලුම පහසුකම් ලබා දී ඇත.

තමන්ගේ දේශපාලන  පළිගැනීම් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමේ  චේතනාවෙන් මෙවැනි  ප්‍රකාශයන් කරන්නේ  බංකොලොත් දේශපාලකයන්ය.මේ ආණ්ඩුව යටතේ කොටි සංවිධානයට නැවත පන දීමේ උත්සාහයන් කීපයක් හෙලිවී ඇත.මේ වසර මුලදී විදේශ රටවල සිටින කොටි ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි ත්‍රස්තවාදීන් යොදවා දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමක් හෙලිකරගැනීමට පොලිසියට හැකිවිය.මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඒ සදහා භාවිතා කිරීමට නියමිතව තිබු ක්ලේමෝ බෝම්බ දෙකක්ද සොයාගන්නා ලදී.  වර්තමාන රජය රැදවුම් භාරයේ සිටි භයානක කොටි ත්‍රස්තවාදීන් නිදහස්කර ඇත. පසුගිය රජය කොටි ත්‍රස්ත්තවදීන් 11000 වැඩි ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර , එසේ කිරීමට නොහැකි අතිශයින්ම දරුනුගනයේ කොටි ත්‍රස්තවාදීන් 200 පමණ රැදවුම් බාරයේ තබාගෙන සිටියේය. වර්තමාන ආණ්ඩුව නිදහස්කර ඇත්තේ පුනරුත්ථාපනය කල නොහැකි කොටි ත්‍රස්තවදීන්ය.මහින්ද රාජපක්ස මහතාගේ ආරක්ෂාව අඩුකර ඇත්තේ මෙවැනි පසුබිමකය.

වසර 30 යුද්ධය අවසන්කොට ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනගිය රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ස මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකීම බව තරයේ සදහන් කරමි.

රොහාන් වැලිවිට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ
මාධ්‍ය ලේකම්