ළග තියන වාහන ගැන වාර්තාවක් දෙනතුරු නව වාහාන ගෙන්වීම තහනම්

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ඉදිරිපත්  කරන පරිපූරක ඇස්තමේන්තු අනුමත කළ නොහැකි බව මුදල් කාරක සභාව විසින් කථානායක, කරූ ජයසූරිය මහතාට දන්වා තිබේ.

රජයේ ඇමතිවරුන් මේවන විට භාවිතා කරනු ලබන වාහන පිළිබඳ වාර්තාවක් ලබාදෙනතුරු අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීම නතර කරන ලෙස රාජ්‍ය මුදල් කාරක සභාව විසින් අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති එම්.ඒ සුමන්දිරන් මහතා විසින් කථානායකවරයාට දන්වා ඇත.

පරිපූරක ඇස්තමේන්තු දෙකක් මගින් ඇමතිවරුන් පිරිසකට වාහන ලබාගැනීමට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙලෙස එය තාවකාලිකව අත්හිටුවා ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

2015 ජනවාරි මාසයේ සිට ඇමතිවරුන් ලබාගෙන ඇති වාහන හා ඒවායේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස අයවැය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට දැනුම්දී ඇති බව මෙහිදී තහවුරු වී තිබේ.

රවී අත් හැරීමේ ගුණය පුරුදු කර නැහැ..මුදල් අමාත්‍යංශෙ කෑලිත් ගලෝගෙනම යන්න ගිහින්- බන්දුල ගුණවර්ධන

මෙරට ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත්ව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව අමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත බාර දී ඇති බවට තොරතුරු අනාවරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.
රවී කරුණානායක මහතා අත්හැරීමේ ගුණය පුරුදුව නොමැති බවත් රට වෙනුවෙන් අමාත්‍ය ධූර වෙනස් කරන අවස්ථාවක තම පෞද්ගලික අවශ්‍යතාවය මත ඔහුට ප්‍රතිලාභ හිමි වෙන ආයතන තමා වෙත නතු කර ගැනීමට කටයුතු කරන බවටත් බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටියේ ය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ විධායක ජනාධිපති ධූරයේ ප්‍රතිරූපය බිඳවැටෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

දෙරණ මාධ්‍ය ජාලයේ නිවේදිකාවක පැහැර ගැනීමට ලක්වෙයි

ඉකුත් (19) සිකුරාදා දින දෙරණ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත් කර ඡයාරූප ගෙන පසුව මහමග අතහැර දමා ගොස් ඇති පුවතක් වාර්තා වේ.

අදාල නිවේදිකාව විසින් මේ සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද වැඩිදුර ආරංචිමාර්ගවලින් අනාවරණය වී ඇත.

සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවි පෙන්වා මෝටර් රියෙන් නිෂ්පාදකයා හා නිවේදිකාව බලහත්කාරයෙන් බස්වාගෙන පැහැරගැනීම සිදු කර ඇත.

පසුව වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම  ඇගේ නිරුවත් පින්තූර ගෙන ඇය සතුව තිබූ රන් ආබරණද කොල්ල කා කොට්ටාව දුම්රියපල අසලට ආපසු ගෙන ගොස් දමා තිබේ.

නිෂ්පාදකවරයාගේ මෝටර් රථය මේ වන තෙක් සොයාගෙන නැති බවද වැඩිදුරටත් වාර්තා වේ.

‘දෙරණ ස්ටාර් සිටි’ තරගයේ පෙරහුරු වැඩසටහනට සහභාගී වී සිටි මෙම නිවේදිකාව අදාල වැඩසටහනේ වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ මහරගම රත්මල්දෙනිය ප‍්‍රදේශයේදීය.

මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර හෙලා දකිනවා – ඇමරිකා එක්සත් ජනපදය

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව පවසන කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, ඕනෑම ආගමික ස්ථානයකට එල්ලවන ප්‍රහාර හෙලා දැකිය යුතු බවත් සඳහන් කරයි.

තානාපතිවරයා ඒ බව සඳහන් කරන්නේ ඉරිදා (මැයි 21) අලුයම කුරුණෑගල මාලිගාපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය පිළිබඳ ට්විටර් පණිවුඩයකට සිය ප්‍රතිචාරය දක්වමිනි.

පල්ලියේ දහම් අධ්‍යාපන කටයුතු සිදු කරන ශාලාවට එල්ල වී ඇති ප්‍රහාරය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

මේ සතිය ඇතුලත ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි තුනකට මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල වූ බව පෙන්වා දෙන ඇමෙරිකානු තානාපතිවරයා, මේ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් ඉක්මනින් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කරයි.

බීබීසී

ආබාධිත සෙබළු පිරිසකට වරප්‍රසාද අහිමි කළ බවට ආරක්ෂක ලේකම්ට සහ හමුදාපතිට චෝදනා

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරතව සිටියදී ආබාධිත වූ සෙබළුන් පිරිසකට වරප්‍රසාද අහිමි කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා සඳුදා (මැයි 22) ජාතික මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ක්‍රියාන්විත සේවයේ නිරතව සිටියදී සෘජු එල්ටීටීඊ ප්‍රහාරයකට ලක් නොවූවත්, ගැටුම්වලට සම්බන්ධ සෙසු ක්‍රියාකාරකම්වලදී ආබාධිත වූ තමන්ට වයස අවුරුදු 55 තෙක් හිමි වැටුප් සහ දීමනාත්, ඉන්පසුව විශ්‍රාම ගැනීමේ හිමිකමත් අහිමි කළ බවට චෝදනා කරමින් ආබාධිත සෙබළුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

යුද හමුදා ගැමුණු හේවා බළඇණියේ සේවයේ නිරතව සිටියදී එසේ ආබාධිත වූ සෙබළුන් වෙනුවෙන් පසුගිය වසරේ සැප්තැම්බරයේ එම පෙත්සම ගොනු කරනු ලැබුවේ කෝප්‍රල් ආර්ඩී විමලසේන ඇතුළු පිරිසක් විසිනි.

ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවෝය.

ඔවුන් “මව්බිමේ නොසලකා හැරි සෙබළුන්ගේ එකමුතුව” නම් සංවිධානයක්ද පිහිටුවාගෙන තිබේ.

ඔවුන්ගේ පෙත්සම විභාග කිරීමට තීරණය කළ ජාතික මානව හිමිකම් කොමිසම සඳුදා කොමිසම හමුවේ පෙනී සිටින මෙන් පසුගියදා ඔවුන්ට සිතාසි නිකුත් කළේය.

සක්‍රීය සේවයේ නිරතව සිටියදී ප්‍රහාරවලට සෘජුව සම්බන්ධ නොවන ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත වූ තමන් 20% ත් 30% ත් අතර ආබාධ සහිත පුද්ගලයන් බවට වෛද්‍යවරුන් විසින් සහතික කරනු ලැබ තිබියදීත් යුද හමුදා බලධාරීන් විසින් තමන් අත්හැර දමා ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

ඔවුන් ආබාධිත වී තිබෙන්නේ සක්‍රීය සේවයේ නිරතව සිටියදී සතුන්ගේ ප්‍රහාරවලට ලක්වීම, වැව් හෝ ගංගා ඇළදොළ ආදියේ වැටී තුවාල සිදුවීම, රිය අනතුරු සහ ගස් නගිද්දී ඇද වැටීම වැනි කරුණු හේතුවෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ ස්වයේ නිරතව සිටියදී තමන් හා සමාන ආබාධිත තත්වයන්ට පත් වූ පිරිස සියළු වැටුප්, දීමනා සහ විශ්‍රාම වැටුප් හිමිකම් සහිතව විශ්‍රාම ගන්වා තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

එබැවින් සෘජු ගැටුම්වලදී ආබාධිත වූ සෙබළුන්ට සහ නිලධාරීන්ට ලබා දුන් වැටුප් සහ දීමනා තමන්ටද ලබා දෙන මෙන් වග උත්තරකරුවන්ට නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිති.

වාසු රෝහල් ගත කරයි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

පසු ගිය දිනවල සෙම් තත්ත්වයන් හා සුළු ඇදුම රෝගී තත්ත්වයක් වෙනුවෙන් බාහිර ප්‍රතිකාර ලබමින් සිටියත්, හදිසියේම ඇති වූ හෘදයාබාධ තත්ත්වය නිසා රෝහල් ගත කිරීමට සිදුවූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මන්ත්‍රීවරයා හෘද රෝගී සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හා ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

වකුගඩුවක් ඩැහැ ගන්නතුරු සෞදි රටේ සිරකර සිටින ශ්‍රී ලාංකික මවක්

වකුගඩුවක් ගලවාගන්නා තුරු මෙරටට එන්නට නොදී සෞදි රටේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියන් තිදෙනකු රජයෙන් ඉල්ලා සිටියි .

මෙසේ සවුදි නිවසක සිරකර ඇත්තේ දඹුල්ල, කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් .ඩබ්ලිව් .ඉන්ද්‍රකාන්ති (36) තිදරු මවකි .මේ මව තමන් පත්ව ඇති අනතුර පිළිබධව ඉතා කෙටියෙන් සඳහන් කොට කුඩා වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක්කොට තිබිණි .එය දුටු කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි තරුණයකු වූ කුමාර ඉහළගෙදර මහතා විසින් මේ කාන්තාවගේ නිවස සොයාගෙන ගොස් මේ බව මාධ්‍ය දැනුවත් කිරීමත් සමඟ මේ සිද්දිය අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ .

එමෙන්ම මෙම කාන්තාවගේ කුඩා දියණියන් දෙදෙනා අහාර නොමැති  බැවින්  පාසල් ගමන නැවතී ඇති අතර සිය මව විසින් එවන ලද මුදල් වලින් නිවසක් කුලියට ගෙන සිටින බවත් දැන් මුදල් නොමැති නිසා සියල්ල අහිමි වී ඇති බවත් අප වාර්තාකරු වෙත පවසා තිබේ .

මේ දරුවන්ගේ මිත්තනිය වන ස්වර්ණා ජයසිංහ මහත්මිය මේ බව  විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළ බවත් ඒ අවස්ථාවේ වකුගඩු ඉල්ලන කතාව් නොකියන ලෙස දැනුම් දුන් බවද මෙතෙක් පැමිණිල්ල විභාග නොකළ බවත් මාධ වාර්තා අනාවරණ කර සිටියි.

වැල්ලවත්ත කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට භාර වෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ පසුගියදා කඩා වැටුණු ගොඩැඟිල්ලේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වැල්ලවත්ත පොලීසිය පැවසුවේය.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ වැල්ලවත්ත ප්‍රදේශය් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩා වැටුණු අතර සිද්ධියෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබීය.

ඒ අනුව අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු ඊයේ(21) පස්වරුවේ වැල්ලවත්ත පොලීසියට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර කඩා වැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින බව කියන කාන්තාවක් සොයා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේය

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් තරුණයා සොයා ගැනෙයි

වැල්ලවත්ත ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අද (20)පස්වරුවේ සිදුකළ මෙහෙයුම් වලදී අදාළ තරුණයාගේ මළ සිරුර සොයාගැනීමට හැකි වූ බවය.

පොලීසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ අතිරේක කණ්ඩායම් යොදවා මෙම මෙහෙයුම් කටයුතු අද(20) දිනයේ සිදුකරනු ලැබීය.

පසුගිය 18 වනදා මෙම වැල්ලවත්තතේ පිහිටි ඉදි කෙරෙමින් පවතින ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 21 දෙනෙකු තුවාල ලැබීය.

මේ අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ගොඩනැඟිල්ල පිහිටි ස්ථානය නිරීක්ෂණය කර තිබේ.

මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ ඇල රක්ෂිතයේ පිහිටි අනවසර ඉදිකිරිම් මාස තුනක් ඇතුළත කඩා ඉවත් කරන ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා උපදෙස් ලබාදි ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේය.

ටූනා මත්ස්‍ය කර්මාන්තයේ ඉදිරිය සදහා ගිවිසුමක් අත්සන් තබයි

ටුනා මත්ස්‍ය කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අදහසින් බලයන් හා තළපත් ධීවර කර්මාන්තයේ ජීව විද්‍යාත්මක හා පාරිසරික තත්ත්වයන් සුරක්ෂිතතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අද (18) උදෑසන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයන සංගමයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබේ.
ඉන් අනතුරුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය හෙට(19) දිනයේ ඉවත් වෙන බවත් එහි වැඩිම ප්‍රතිලාභ ධීවර ප්‍රජාවට හිමි වන බවත්ය.
කෙසේ වෙතත්  ජී.එස්.පී. ප්ලස් සහනය නියමාකාරයෙන් ලැබීම තුළ අපනයනය ඉහළ යන බවත් එහිදී මාළු මිල ඉහළ යාමේ අවධානමක් පවතින නමුත් ආනයනික මාළු සඳහා ඇති බදු සහනය අඩු කිරීමට කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇති බැවින් එම තත්ත්වය පාලනය කර ගත හැකි වෙනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.