බැදුම්කරේට සහය දක්වන්නන්ට විවිධ පාර්ශව සිදු කරන ප්‍රකාශ පදනම් විරහිතයි – යසන්ත කෝදාගොඩ

බැඳුම්කර කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තු නීතිඥ  කණ්ඩායම සම්බන්ධයෙන් විවිධ පාර්ශව පදනම්  විරහිත ප්‍රකාශ සිදු කරමින් සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පවසයි.
බැදුම්කර කොමිසමේ (11) ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
කොමිසම ලබාදුන් නියෝගයකට අනුව අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනය පසුගියදා කොමිසම බාරයට ගත් අතර එහි දත්ත විමර්ශනය කළ තාක්ෂණික විශේෂඥයින් දුරකථනයේ තිබූ දත්ත ඇතුළත් පිටු 8600ක පී.ඩී.එෆ් ලිපි ගොනුවක් කොමිසමට සහය පළ කරන නීතිපති  දෙපාර්තමේන්තුවේ කණ්ඩායමට ලබාදී තිබුණි.
එම දුරකථන දත්ත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබූ සාක්ෂිකරුවන්ගෙන් කොමිසම ඊට අදාළව ප්‍රශ්න කරනු ලැබීය.
කෙසේවෙතත් අද බැඳුම්කර කොමිසමේදී අතිරේක  සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ දත්ත ඇතුළත් පිටු 8600 ක වාර්තාව තමා විසින් පැය 48ක් තුළ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් අඥානවන්ත පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි.
එහිදී අදාළ ප්‍රකාශ කොමිසම තුළදී නොව ඉන් පිටත සිදු කළ ප්‍රකාශ හේතුවෙන් ඒ සම්බන්ධයෙන්  කොමිසමේ ප්‍රකාශ කිරීම සුදුසු නොවන බව සිතන්නේ යැයි අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කොමිසමට කියා සිටියේය.
නමුත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ  කොමිසමට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශ සිදු කරන නිසා තමන් එම ප්‍රකාශ සම්බන්ධයෙන් කොමිසමේදී අදහස් පළ කළ යුතු බවයි.
ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් දත්ත සම්බන්ධයෙන් විමර්ශන කරමින් කොමිසමට සහය වෙන තාක්ෂණික විශේෂඥයින්  කොමිසමට ලබා දෙන්නේ එම දත්ත පහසුවෙන් සොයා ගත හැකි වන පරිදි  සකස් කරන ලද සංස්කරණය කළ නොහැකි පී.ඩී.එෆ් ලිපි ගොනුවක් හරහා බව යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රකාශ සිදු කිරීම මඟින් අදාළ පුද්ගලයින් සිය ඥානවන්ත භාවයේ ප්‍රමාණය ප්‍රදර්ශනය කරන බවයි.

ලංකාවේ ප‍්‍රථම වරට කසළවලින් විදුලිය

කසළවලින් විදුලිය උපදවන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ කෙරවලපිටියේදී සිදුවිය.
කසළ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවූ අතර ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතින් ක්‍රියාත්මක කෙරෙයි.
කසළ සම්පතක් කර ගනිමින් විකල්ප ක්ෂේත‍්‍ර සඳහා යොමු වීම මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සිදු නොවූ අතර කසළ කළමනාකරණය සඳහා දියුණු රටවල භාවිත කරන තාක්ෂණික ක‍්‍රමවේද හා මෙවලම් භාවිතයට ගනිමින් සනීපාරක්ෂක සහ පරිසර හිතකාමී ලෙස අවසන් බැහැරලීමේ ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීමත් ඒ අතරතුර කසළවලින් ගත හැකි ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහාත් විධිමත් වැඩසටහනක් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.
ඒ යටතේ වත්තල, කෙරවළපිටිය ප‍්‍රදේශයේ සිදුකෙරෙන මෙම ව්‍යාපෘති සඳහා ලංකා ජෑන්ග් ආයතනය හා වෙස්ටර්න් පවර් ආයතනය රුපියල් බිලියන 27 ක ආයෝජනයක් සිදු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග එක් බලාගාරයකින් මෙගාවොට් 10 ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත අතර මීට සමගාමීව පුත්තලම, අරුවක්කාලු ප‍්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැඳවුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කෙරෙයි.
ඉදිරි වසර දෙක තුළ මෙම සියලු ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
මෙම අවස්ථාව සදහා අමාත්‍යවරු රැසක් එක්ව සිටියේය.

විද්‍යා ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක් බේරා ගැනිමට සිදුවන මෙහෙයුමක් ගැන හෙළි වේ

විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ සැකකරුවකු මුදවා ගැනීමට විජයකලා මහේස්වරන් ඇමැතිවරිය පැමිණීම පිළීබදව සමාජජාලා ඔස්සේ විකාශනය වන වීඩියෝව සම්බන්ධයෙන් අධීකරණය නියෝගයක් නිකුත් කරන්නේ නම් පොලීසිය එ් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීයය. 

එ් මහතා මෙසේ පැවුසවේ විද්‍යා ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක් බේරා ගැනිමට  විජයකලා මහේස්වරන් ඇමතිවරිය ගොස් සිටින ආකාරය සම්බන්ධයෙන් සමාජජාලා ඔස්සෙ විකාශනය වන විඩියෝවක් සම්බන්ධයෙන් ඊයේ (02 පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමිණි.

යාපනය මහාධිකරණයේ ති‍්‍රපුද්්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එ් සම්බන්ධ නඩුවක් ඇති බවත් එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බවත් එ් මහතා පැවසිය. 

තවමත් ඊට අදාල නඩු කටයුත්ත සිදු වෙමින් පවතින හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් කළ විට ඊට අනුව පොලිසීය කිි‍්‍රයාත්මක වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඉරිදා දිනයේ සහ පෝහොය දිනයේ් ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක්

ඉරිදා දිනයේ සහ පෝහොය දිනයේ් ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 
 
මෙම පනත මගින් පොහොය දිනයේ සහ ඉරිදා දිනයේ පවස සවස 2 පසුවන තෙක් පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට නියමිතව ඇත.
 
ආගමික පරිසරයේ හැදී වැඩෙන පුරවැසියන්ගෙන් රටට යහපතක්ම සිදුවන හෙයින් එවන් පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට නිති පැනවෙන මෙම පනත සම්බන්ධයෙන් මේ වන විට ආයතන ප‍්‍රධානින් සමඟ ද සාකච්ඡුා පවත්වා ඇත. 
 
ඉදිරියේදී උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට නියමිතව ඇති අතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ උපදෙස්ද ලබා ගැනිමට නියමිතව ඇතැයි එ් මහතා සදහන් කරයි. 
 
ඇමැතිවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ අගමැතිවරයාගේ දේශපාලන දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිකත්තෙන් මහරගම තරුණ සේවා සභෘවේ පැවැති උත්සවයක් අමතමිණි. 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවෙක්ට දෙන්නෙ නැහැ – ජනපති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනත් පාර්ශවයකට ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකකරණය කරන බවට පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වී තිබුණි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අද (01) පැවැති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දෙන බවට පැතිර යන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.

මේ අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමඟ අත්සන් කරන ලද සංශෝධිත ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ අවශ්‍ය නම් මෙම ගිවිසුම පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට පක්ෂ නායකයින්ට හැකියාව පවතින බවයි.

රජය මීළඟට විකුණන්නේ මත්තල ගුවන්තොටුපළ – මහින්ද

හම්බන්තොට වරාය චීන සමාගමකට විකුණූ රජය මීළඟට විකුණන්නේ මත්තල ගුවන්තොටුපළ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 
 
බලයට පත්වූ හැටියේ මත්තල ගුවන්තොටුපල වීගබඩාවක් කර වසා දමා ගුවන් යානා එන්නේ නැති නිසා එයින් වැඩක් නැතැයි කියා දැන් විකිණීමට සූදානම් වන බවද එ් මහතා පැවසීය. 
එ් දිනවල මත්තල ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණි බවත් එ් බව හම්බන්තොට ජනතාව දන්න බවද එ් මහතා කීවේය. 
 
 ඕනෑම රටකට අඩුම වශයෙන් ගුවන්තොටුපළ දෙකක් තිබිය යුතු අතර මත්තල ගුවන්තොටුපල නොතිබුණු අවධියේ ඉන්දියාවට හා මාලදිවයිනට මුදල් ගෙවමින් ගමන් කිරිමට සිදුවූ බව හොදින්ම දන්නා කාරණායක් යැයිද එ් මහතා කීවේය. 
මත්තල ගුවන්තොටුපල සමඟ මේ රජයට ඇත්තේ මහ වෛරයක් යැයිද තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යයට අදහස් දක්වමින් එ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

රටේ ඉඩම් වෙන කිසිම රටකට දෙන්නෙ නෑ – මහින්ද අමරවීර

ජනාධිපතිවරයාගේ පාලනය යටතේ කිසිඳු ඉඩමක් කිසිඳු රටකට විකිණීමට කටයුතු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජය ස්වභාවික ව්‍යසන රැසකට මුහුණදෙමින් ඉදිරියට ගමන් කරන බවය.

මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර අවසන් – බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න

යුද හමුදා මැදිහත්වීමෙන් කොළොන්නාවේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා  මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර හැර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී  තිබුණි.

ඒ හේතුවෙන් කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබූ  අතර තාවකාලිකව මාර්ගය වසා දැමීමට සිදුවිය.

වැඩවර්ජනයට සම්බන්ධ සේවකයන් පිරිසක් විසින් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට, තෙල් ගෙනයාම සඳහා පැමිණි දුම්රියට විරෝධය පළකරමින් දුම්රිය මාර්ගය හරස් කරමින්  ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ.

මේ හේතුවෙන් කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ හතරක්ද මේ වන විට එම ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

අදාළ දුම්රිය ගුවන්තොටුපොළ වෙත තෙල් ගෙනයාම සඳහා පැමිණ ඇතැයිද එම දුම්රිය මේ වන විට පිටත්වීමට සූදානම් බවද සඳහන්ය.

ජපන් ඉන්දීය හවුල්කාරීත්වයෙන් ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමේ සැලසුමක්

සාම්පූර්හී ගල් අගුරු බලාගාරයක් වෙනුවට ජපන්, ඉන්දීය හවුල්කාරීත්වයකින් යුත් ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට තීරණය වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේය.

ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉන්දියානු රජය විසින් සාම්පූර්හී ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට මුලදී තීරණය වී තිබුණත් ඉන් වන පරිසර හානිය සලකා ජනාධිපතිවරයා ගල් අගුරු බලාගාරයක් ඉදි නොකිරීමට තීරණය කළ බැවින් මෙලෙස ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ගල් අගුරු බලාගාරයක් වෙනුවට ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියානු රජය අකමැති බැවින් එය ඉන්දිය ජපන් හවුල්කාරීත්වයක් යටතේ ඉදිකිරීමට සිදු වන බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් සාම්පූර්හී ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට කොරියානු සහ ජපන් රජයෙන් යෝජනා ඉදිරිපත් වූ බවත් ඉන් කොරියානු රජය ඉදිරිපත් කළ යෝජනාව වඩා වාසි සහගත එකක් වූ බවත් අමාත්‍යවරයා පැවසීය. නමුත් ජපානය තාක්ෂණික වහයෙන් ඉදිරියෙන් සිටින බැවින් සහ ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා සළකා බලා ජපාන රජය සමග ගිවිසුමට ඇතුළත් වීමට තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.