රජය පළාත් සභා ඡන්දයට ලබන සතියේ සිට වැඩ

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වැඩකටයුතු ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පවසයි. සියලු පළාත් සභාවල නිල කාලය අවසන්වී මේ වනවිට වසරක් පමණ ගෙවී ඇතත් යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ පනත් සංශෝධනයක් හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධාවක් පැවතිණි.
මැතිවරණයට අදාළ සීමා නිර්ණ කටයුතු සිදුකිරීම සඳහා කමිටුවකට එය භාරදී තිබූ අතර, අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූයේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබිණි. යහපාලන ආණ්ඩු සමයේදී අදාළ සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය තුනෙන් දෙක බහුතරයකින් සම්මත නොවිය. පසුව එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා එම වාර්තාව සමාලෝචනය කිරීමට කටයුතු කළද එම සමාලෝචන වාර්තාවද නිමකර මෙතෙක් ලබා නොදීමෙන්
පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල්ගිය අතර, අදාළ ගැටළු සියල්ල විසඳා හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බවයි පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේය.
අවසන්වරට නිල කාලය අවසන් වූයේ ඌව පළාත් සභාවේ වන අතර, ඒ, 2019 වසරේ ඔක්තෝම්බර් 8 වන දිනය. ඊට පෙර අවසන් වූ පළාත් සභාව වන්නේ බස්නාහිර වන අතර, ඒ පසුගිය වසරේ අප්‍රේල් මස 21 වන දිනයි. 2019 වසරේ අප්‍රේල් මාසයේදී දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, වයඹ සහ උතුර පළාත් සභාවල නිල කාලය අවසන් වූයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදිය. සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිල කාලය 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් විය ඒ අනුව මේ වනවිට සියලු පළාත් සභා පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය.
අශන්ති වරුනසුරිය

චීනයෙන් කොවිඩ් එන්නත ළඟදීම ලංකාවට

චීනය, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදය අත්හදා බලන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන් විගස කඩිනමින් මෙරටට ගෙන්වීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එය සිදුකර ඇත්තේ චීන නීතිවලට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රීතිවලට අනුකූලව බව චීනය පවසා ඇත
ලෝකයේ රටවල් දහයක් පමණ මේ වන විට එන්නත් නිපදවීම සඳහා පර්‌යේෂණ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහෙත් චීනය, මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත් සායනික මට්ටමෙන් ඔබ්බට ගොස් තුන්වැනි අදියරේ පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පැවැසුවේය
එම එන්නත් අතුරින් චීනය හෝ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරන අතර මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමුකර ඇති, චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නතක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 60,000කට අත්හදා බලා ඇති අතර එම පුද්ගලයන් රටවල් 10ක ජාතීන් 125කට අයත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි
තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීමක් ලෙස එම එන්නත ලබාදී ඇති අතර මේ දක්වා කිසිවෙක් ඉන් දරුණු අතුරු ආබාධ පෙන්වා නොමැති බව වාර්තා වන අතර තානාපති කාර්යාලය පවසන්නේ කොවිඩ් වයිරසයට නිරාවරණය වී ඇති වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්, වයිරසය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ක්ෂේත්‍රවල සේවකයන් සහ දේශසීමාවල සේවය කරන පුද්ගලයන්ට හදිසි අවශ්‍යතාවන් සඳහා එන්නත සපයා තිබෙන බවයි.
අශන්ති වරුනසුරිය

මාකඳුරේ මදුෂ් නම්වූ බළල් අත

මධුෂ් කාලයක් පුරාවටම කතා කල ජනප්‍රිය චරිතයක්. වසර ගණනාවක් අපද මේ ගැන වාර්තා කළා. පොලිස් දැලෙන් පනිමින් අවසානයේදී හසුවන මදුෂ් සිරගත වෙනවා. පස්සේ කාලයක් ආගිය අතක් නැතුව නැවත කතා වෙනවා. ඔහොම යන මේ කතාවේ ප්‍රධාන චරිතය අද මිය යනවා. ඉතිං මේක ඉවරද ? … මගේ සටහනට නලින් වගකිවයුතු බලධාරියකුගේ සටහනක් මුලින් සටහන් කරන්න කැමතියි. මේ අපි දන්නා හදුනන ප්‍රියන්ත ජයකොඩි. නියෝජ්‍ය පොලිස්පතිගේ කතාවයි.
“සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත ඉපදිලා තියෙන්නේ කඹුරුපිටිය පොලිස් වසමේ, ගතාරේ එහෙත් ඔහු විවාහ වෙන ගයනි මුතු මාලගේ ගම මාකඳුර. විවාහ වෙලා බින්න බැස්සට පස්සේ තමයි ගතාරේ මධූෂ් “මාකඳුරේ මධූෂ්” බවට පත් වන්නේ. ශ්‍රී ලංකා පොලීසියෙ අපරාධ ඉතිහාස ලේඛනවල මදුෂ්ගෙ නම මුලින්ම සටහන් කිරීම සිදු කළේ මම එතකොට මදුෂ් තුන්වන පන්තියේ කොල්ලකරුවෙක් මීගමුව . ගාල්ල ,ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල සිදුකළ ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම දහයක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මුලින්ම මධූෂ්ව මම වාරියපොල දි අත්අඩංගුවට ගත්තේ 2006ජූලි මාසේ විසි පස්වෙනිදා එය තමයි ශ්‍රී ලංකාව ඇතුලත මදුෂ් අත්අඩංගුවට ගත් පළමු සහ අවසාන වතාව මේ අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 පිස්තෝලයක් සහ රිපීටර් වගේ තුවක්කුවක් අත්අඩංගුවට ගත්තා මේ වෙනකොට මධූෂ් ඔහුට වෙඩි තැබූ බව කියන ඩැනී හිත්තැටිය ගේ සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධ ව පොලිසියට අවශ්‍යව තිබුණ අපරාධකාරයෙක්.
ගමේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ගමෙන් පළා ඇවිත් “උණාකුරුවේ ශාන්ත” කියන අපරාධකාරයා සමඟ සම්බන්ධ වෙලාලීසිං සමාගම් ඇතුළු මුල්‍ය ආයතන කොල්ලකෑමේ සිද්ධින් දහයක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මධූෂ් ඇතුලු අපරාධ කල්ලිය අත්අඩංගුවට ගනු ලැබුවේ . මාස ගණනාවක් අත්අඩංගුවේ තබා ගෙන ප්‍රශ්න කරලා අවශ්‍ය විස්තර ලබාගෙන මධූෂ් අධිකරණයට ඉදිරිපත් කළා. ඔහුව ප්‍රශ්න කිරීම් කරන අවස්ථාවේදී මම දැනගෙන හිටියා ඔහු තුළ දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය ඝාතනය කිරීමේ අරමුණක් තියෙන බවත්,ඔහු ඩැනී හිත්තැටිය සමග දැඩි වෛරයකින් පසුවන බවත්, මම මේ සම්බන්ධව ලිඛිතව සහ වාචිකව ඩැනී හිත්තැටිය දැනුවත් කළා. එහෙම තියෙද්දී තමයි මදූෂ් සූක්ෂමව බන්ධනාගාර ගත කරල හිටපු මාරක ළිඳේ බයිසිකල් ධාවකයෙකු සහ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නිශ්ශංක නැමැති පුද්ගලයා ඇප ලබා දී හිරෙන් නිදහස් කරගෙන මනා ලෙස සැලසුම් කරන ලද සැලැස්මකට අනුව ඔවුන් යොදවා ඩැනී හිත්තැටිය ඝාතනය සිද්ධ කරන්නේ.
වසර නවයකට පස්සේ 2011තමයි මධූෂ් බන්ධනාගාරයෙන් එළියට එන්නේ.ඔහු බන්ධනාගාර ගතව ඉන්න කාලෙදී ඔහුගේ නම ඈදෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන ප්‍රයත්නයක් සම්බන්ධ සිද්ධියකට මේකෙ කෙළවරේ ඉන්නේ බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සාමාජිකයෙක් මේ හේතුවෙන් මාස 18 ක ට ආසන්න කාලයක් මධූෂ් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය රඳවා ගෙන ප්‍රශ්න කරනවා, ඇප අරගෙන බන්ධනාගාරයෙන් නිදහස් වෙලා මධූෂ් යන්නේ කොළඹ අලුත්කඩේට,මේ කාලෙදී තමයි ඔහු කන්ජිපානි ඉම්රාන් සහ රිප්ඛාන් කියන අලුත් කඩේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නේ. එම මිත්‍රත්වය ඔස්සේ තමයි ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරලා එක්සත් අරාබි එමිර් රාජ්‍යය නොහොත් ඩුබායි රටට යන්නේ.මදුෂ්ට ඩුබායි රටට යන්නත් ඩුබායි ගිහින් පදිංචි වෙන්නත් උදව් කළේය රිප්ඛාන් ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලියක් විසින් රිප්ඛාන්ව ඝාතනය කිරීම මදූෂ්ට ඔරොත්තු දුන්නේ නැහැ මේ ඝාතනයට සම්බන්ධ වෙලා හිටපු “කොස් මල්ලි “කියන තැනැත්තාව අඟුණකොළපැලැස්ස දී ඝාතනය කරලා සිරුර රහසිගතව මිහිදන් කරල බෙල්ල කපාගෙන ඇවිල්ලා රිප්ඛාන්ව මරපු තැනම තියලා තමයි මධූෂ් සැනසුම් සුසුම් හෙළුවේ. ඔහුගේ අපරාධකාරීත්වය ඒ තරමටම මෙලේචිජයි .
2011 සහ 2019 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කොටගෙන ඔහු ව්‍යාපාරික ජාලයක් ගොඩ නඟනවා ඇෆ්ගනිස්තානය ඉරානය ඔස්සේ ” රන් චන්ද්‍රවංකයේ” (GOLDEN CRESENT) සිට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට පමණක් නොව මාලදිවයින සහ බංග්ලාදේශයට යැවීම ඔහුගේ මූලික ව්‍යාපාරය වනවා.
මේ අතර තුර තමයි මදුෂ් මූලික වෙලා මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරන්නේ මේ ප්‍රහාරය සඳහා ඔහු නවාස් නැමැති තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඔත්තුකරුවකු ලෙස යොදාගන්නවා. ඒ ඔත්තුකරු සපයන ව්‍යාජ ඔත්තුවක් ඔස්සේ පොලිස් කණ්ඩායම පිලියන්දල ප්‍රදේශයට කැඳවාගෙන පැමිණ සන්නද්ධ කණ්ඩායමක් ලවා පහර දී ඔවුන් ඝාතනය කිරීම තමයි මදුෂ්ගේ සැලැස්ම. සැලැස්ම නියමෙට වැඩ කරනවා ප්‍රහාරය ඔහු හිතුවේ ආකාරයටම සිද්ධ වෙනවා මේ ප්‍රහාරය හේතුවෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්යෙක් මිය යනවා පොලිස් පරීක්ෂක නියෝමාල් රන්ගජීව බරපතළ තුවාල ලබනවා (මේ ප්‍රහාරය හේතුවෙන් පොලිස් පරීක්ෂක රංගජීව අදටත් ආබාධිතයකු බවට පත් වී සිටිනවා ) ප්‍රහාරයට මැදි වූ සිවිල් පුරවැසියකුත් මිය යනවා . සාමාන්‍යයෙන් අපරාධකරුවන් පොලිස් සමග ගැටෙනවා අඩුයි බොහෝ විට සිදු වන්නේ යම් අපරාධකරුවකු අත්අඩංගුවට පත්වීමේ අන්තරායක් ඇති වූ විට ඔහු පලායාමට අවකාශයක් ලබා ගැනීම සඳහා සිදුකරන වෙඩි තැබීමේ සිදුවීමයි . එහෙත් සැලසුම්කර පොලිස් කණ්ඩායමක් ස්ථානයකට කැඳවා ප්‍රහාරයක් එල්ල කරන්න සමත් අපරාධකරුවන් ඉන්න ඉතා අතලොස්සක් මදුෂ් එි අතළොස්සෙන් එකෙක් .
මගේ පොලිස් ජීවිතය තුළ විමර්ශනය කරන ලද අපරාධ අතරින් සුවිශේෂ අපරාධයක් තමයි කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට පහර දීකුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ “සමයන්” ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය. මෙය ඉතා තීක්ෂණ ලෙස සැලසුම් කර තිතට සිදු කළ අපරාධයක්. අපරාධය ට සුදුසුම දඩබිම තෝරා ගැනීම, අවශ්‍ය වෙඩික්කරුවන්,තුවක්කු සහ පතරොම් සොයාගැනීම, සුදුසුම උපක්‍රමය තෝරා ගැනීම සහ එයට සුදුසු අපරාධකරුවන් කණ්ඩායම සොයාගැනීම .අපරාධ සිදු කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා ගැනීම මේ අතරින් සුවිශේෂයි මේ හැම අංශයක් ගැනම සලකා බැලූවත්,”එතනමඩල ප්‍රහාරය” හැම අංශයකින්ම ඉතා විශිෂ්ට ලෙස ඉදිරියෙන් සිටිනවා .මෙම ප්‍රහාරය සැලකෙන්නේ කොමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් හැටියටයි මේ ප්‍රහාරය සැලසුම් කර මෙහෙයවනු ලැබුවේ මධූෂ් .ප්‍රහාරයෙන් පස්සේ එයට මූලිකත්වය ලබා දුන් අපරාධකරුවන් දෙදෙනා වන අංගොඩ ලොක්කා සහ ලඩියා ආරක්ෂිතව ඉන්දියාවට රැගෙන ඒමත් මදුෂ්ගේ සැලැස්මේම අංගයක් . මීට අමතරව රුපියල් මිලියන 800 ක් වටිනා මැණික් ගලක් සොරා ගැනීමේ සිද්ධිය සැලසුම් කිරීම පිටුපස හිටියෙත් මදුෂ් එම අපරාධ ජාත්‍යන්තර මට්ටමේ අපරාධයක් හැටියටයි සැලකෙන්නේ. මදුෂ්ගේ අපරාධ චාරිකාව ගැන සලකා බැලුවහම ඔහු හැම විටම සිදු කරලා තියෙන්නෙ ඉතා සූක්ෂමව අපරාධ සැලසුම් කිරීම සහ සුදුසුම අය යොදවා එය ක්‍රියාවට නැංවීමයි . ස ඔහුගේ අපරාධ චාරිකාවේ මුල්ම අවධියේ ඩැනී හිත්තැටිය ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධිය සහ මුලින් සඳහන් කළ මංකොල්ලකෑමේ සිද්ධීන් හැර ඔහු පෞද්ගලිකවම පෙනී සිට වසිදු කරන ලද අපරාධ ඉතා විරලයි . ඔහු විසින් සිදුකරන ලද සෑම අපරාධයකම මහ මොළකරු ගේ කාර්යභාරය තමයි මධූෂ් ඉෂ්ට කළේ. ලැබී තිබෙන ආරංචි හැටියට මේ වන විට මදුෂ් ට අයත් තරු තුනේ හෝටලයක් ඩුබායි දේශීයේ තිබෙනවා ඊට අමතරව වාහන අංගනයක් තියෙන බවටත් තොරතුරු තියෙනවා ඒ කෙසේ වෙතත් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා “දිට්ඨධම්ම වේදනීය කර්මය “කියලා මදුෂ් ට දැන් පල දීලා තියෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයයි. ගවයා පසුපස ගැල එන්නා සේ යමකු විසින් සිදුකරන ලද අපරාධද ඔහු පසුපසම එනවා
1979 උපන් මධූෂ් වසර විසිපහක නාඹර තරුණයකු ලෙස අපරාධ ලෝකයේ අභිෂෙක් ලබන්නේ 2005 වසරේදීයි. වසර පහළොවක් වැඩි කෙටි කාලයක් තුළ ඔහු අපරාධ ලෝකයේ කිරුළු පලන් රජකු බවට පත්වනවා. ජීවිත දහස් ගණනක් මත් මාරයාට බිලි දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන සල්ලි වලින් ඔහු ජීවිතයේ ලැබිය හැකි සියලු සුඛවිවරණය ලබනවා අවසානයේදී ඔහුට සියලු සුබ විවරණයන් ලබාදුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේම වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතයෙන් සමු ගන්න ඔහුට සිද්ධ වෙනවා
මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන් කීපදෙනෙකුටම මේ ලෝකෙන් සමු ගන්න සිද්ධ වුනේ ඔවුන් කිසිවෙකුත් නොසිතූ නොපැතූ විදිහටයි.”එස්. එෆ් ලොක්කා” සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත වෙලා නැහැ අද මධූෂ්, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි
………….
නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබේ කතාව හරි. එමෙන්ම මෙරට මත්ද්‍රවය මෙන්ම පාතාලය ශෝධනය කිරීමට මෙසේ සිදුකරන කැපකිරීමට අපගේ උත්මාචාරය නිරතුරුව. මදුෂ්ගේ මරණය ගැන ප්‍රශ්නයක්නැත . නමුත් එය සිදුවූ අයුරු හරහා වැළලෙන තෝරුමොරු ගැන අපට ප්‍රශ්ණයකි . මධුෂ් ව මරා දැමීම පිලිබදව මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබේ. මධුෂ් අත්අඩංගුවට පත්වූ පසු කුඩු වියපාරිකයන් දේශපාලනයේ සිටින බවත් එවන් පුද්ගලයන් 80කගේ නම් හෙළි දරව් කරන බවත් ඔහු පවසා තිබිණි. මේ හරහා මතු වන බොහොමයක් මේ වන විට ජවනිකා බවට පත් වෙමින් තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද පැවසුවේ මධුෂ් ඝාතනය නාටකයක් බවත් ඒ හරහා මදුෂ් හෙළි දරවු කල තොරතුරු සැගවී ගිය බවත්ය. මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද ජන්ද පොරොන්දු අතරවූ පාතාලය මර්ධනය ගැන ජනතාව ලෙස අපද නිරතුරු බලා සිටිනවා. ඒ හෙට දරුවට සුරැකි දේශයක් ලබා දීමට. ඊයේ SF, අද මධුෂ් හෙට තවත් එකෙක් මෙසේ මිය යන්නට පුළුවන්. නමුදු ඔවුන්ද කවුරුන් විසින් හෝ මෙහෙයවන බළල් අතක්. ඔවුන් මෙහෙයවූවන් කෝ? මෙන්න මේකයි අපේ ප්‍රශ්ණය. මොවුන්ගෙන් හෙළි වන එවුන් රැකෙන්න්න ශෝධනයක් අපට අවශ්‍ය නැත. එසේ නොවන තාක් කෙසේ ශෝධනය වුවත් මදුෂ් ලා, SF ලා මහරගම කළු තුෂාරලා තවත් බිහිවනු ඇත. පුද්ගල මරණයකින් සමාජයක් මර්දනය කල හැකිද? වත්මන් ජනාධිපතිගේ එක රටක සැමට පොදු නීතියක් තුල සියල්ල පිටුපස තෝරුන් මෝරුන් කවුද යන්න හෙළි විය යුතුයි. අප බලා සිටින්නේ ඒ වෙනුවෙන්
අශන්ති වරුනසුරිය

ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය නම් නවයක් අතරින් සුදුකම් ලබයි

රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන්ගේ නම් 9 ක් ඉදිරිපත් කරමින්, නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ඉන් නමක් අනුමත කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබුණ අතර ඒ අතර සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිනිය වන, පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු කළ, බිම්සානි ජාසිංආරච්චි මහත්මියගේ නම ඒ සඳහා තෝරාගනු ලැබ තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ජාසිංහරාච්චි මහත්මිය1997 දී පොලිස් පරීක්ෂකවරියක ලෙසින් පොලිස් සේවයට බැඳුණු අතර වසර 2017 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක ලෙස උසස් කරනු ලැබුවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දැරූ (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි) ප්‍රථම කාන්තා නිලධාරිනිය වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ප්‍රමිලා දිවකර මහත්මියයි. පොලිස් සේවයට බැඳුණු පළමු කාන්තා නිලධාරිනියද වූ ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරය දරමින් සිටියදී විශ්‍රාම ගත්තා.
නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක් පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ

උදයංග වීරතුංග කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කරයි

උදයාංග වීරතුංග වන මා, රුසියානු සමූහ ආණ්ඩුව, යුක්රේනය, බෙලොරුසියාව, කසකස්ථානය, උස්බෙකිස්ථානය, අර්මේනියාව, මල්දෝවා සහ ජෝර්ජියාව යන රටවල් 8 හි ශ‍්‍රී ලංකා තනාපති ලෙස මාතෘ භූමියට සේවය කිරීම මුලික හේතුකොට ගෙන, පසුගිය වසර 5කට ආසන්න කාලයක් යහපාලන රජය විසින් හුදෙක් දේශපාලන පලිගැනීම් අරමුණින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ඇතුලූ අනිකුත් රාජ්‍ය ආයතන මඟින් මට එරෙහිව සිදුකළ අසාධාරණයන් පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වා, මා හට සාධාරණ විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ගරු කොමිෂන් සභාවට ඉතා ගෞරවයෙන් කරුණු ඉදිරිපත් කර සිටිමි.

“සන්ඬේ ටයිම්ස්” පුවත්පතෙහි මාධ්‍ය ලේඛකයෙකු ලෙස සේවය කරන ඉක්බාල් අතාස් විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වර්ෂ 2000 සහ 2006 යන වර්ෂයන් හි මිග් යානා මිල දී ගැනීමේ දී සිදු වී ඇති බවට සඳහන් මුල්‍ය අක‍්‍රමිකතාවන් සම්බන්ධයෙන් “සන්ඬේ ටයිම්ස්” පුවත්පතෙහි පලකරන ලද විශ්ලේෂණ වාර්තාව අනුව 2015 මාර්තු 05 දින දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.

දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් ACCS/FC/2015/02 යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව FCID/05/2015 ලිපි අංකය අනුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනුකරන ලද බී/639/15 නඩුව පාදක කරගෙන 2015 මාර්තු 26 වෙනිදා සිට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මට එරෙහිව සිදු කරන දේශපාලන පළිගැනීම් පිළිබඳව ගරු කොමිසන් සභාවට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිමි.
මා පළමුව අවධානයට යොමු කරන්නේ, යහපාලන ආණ්ඩු සමයේ දී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවූ දූෂණ විරෝධි ලේකම් කාර්යාලය සිදු කළ ඇතැම් ක්‍රියා නීති විරෝධීව සිදුව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිෂන් සභාවේ දී පිළිගත් නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් කිසිදු පැමිණිල්ලක් පොලිසියට ලිඛිතව සිදුකර නැති බවයි. එසේ නමුත් මා මෙහිදී ගරු කොමිෂන් සභාවට පවසා සිටින්නේ, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් ACCS/FC/2015/02 යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බව 2015 මාර්තු 26 දින බි 639 /15 නඩු වාර්තාවේ පැහැදිලිව සදහන්ව වී ඇති බවයි. ඒ අනුව පෙනී යන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අසත්‍ය තොරතුරු මෙම කොමිෂන් සභාව ඉදිරියේ පවසා ඇති බවයි. එහිදී කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ එසේ දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීමට නිත්‍යානුකූල අයිතියක් නැති බවත්, එසේ සිදුකරනු ලබන පැමිණිල්ල නීති විරෝධී නම් ඊට අදාල සියලු නඩු නීතිවිරෝධී බවයි. එහිදී වැඩිදුර පරීක්ෂ සදහා එම පැමිණිල්ලට අදාල ACCS/FC/2015/02 දරන ලිපි ගොනුව කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියට නියෝගයක් නිකුත් කරන ලදී.

ඊයේ දින මා විසින් දේශපාලන පලිගැනිමි පිලිබද ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට පැමිනිලි අංක 1080/2020 යටතේ‍ ගැටළු 4 ක් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන අතර ඒවා පිලිවෙලින් මෙසේය.
1. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීම මත මාගේ සියලූ ගිණුම් අක‍්‍රීය කිරීම.
2. අසත්‍ය කරුණු මත සැකකරුවකු ලෙස නම් කර වරෙන්තුවක් නිකුත් කිරීම.
3. අසත්‍ය තොරතුරු මත ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කිරිම රීම:
4. ඉන්ටර්පෝල් රතු නිවේදනය මත අත්අඩංගුවට:

මා 1985 අගෝස්තු 22 දින සෝවියට් දේශයේ කිව් නගරයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්වීය. එදා යුක්රේනියාවේ කිව් විශ්වවිද්‍යාලයේ රුසියානු භාෂාව හැදෑරීමෙන් පසු කිව් නගරයේ විශ්වවිද්‍යාලයේ කාර්මික ඉංජිනේරු උපාධිය ලබාගත් මා, 1991 වර්ෂයේ සිට ස්ථිර පදිංචි විසා මත යුක්රේනියාවේ ජිවත් විය. පසු කාලයේදී යුක්රේනියා රාජ්‍යය ලෙස අලුත් රටක් බිහි වූ අතර 1999 වර්ෂයේ දී එම රටෙහි ශ්‍රී ලංකාවේ ගරු සේවා කොන්සුල්වරයා ලෙස ශ්‍රී ලංකා රජයට නොමිලේ සේවය කරන ලදී. ඒම කාලයේදී කිව් නගරයට පැමිණි යුදහමුදා හා ගුවන්හමුදා නිලධාරීන්ද අමත්‍යවරුන්ද ශ්‍රී ලංකා තානාපතිවරු මෙන්ම අනිකුත් ලාංකික දූතපිරිස් වැඩි වශයෙන් පිළිගත්තේ මා විසිණි. එම ගරු සේවයෙන් පසු 2006 වර්ෂයේදී මොස්කව් නගරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රුසියානු සමුහාණ්ඩුව ඇතුළු රාජ්‍යයන් 8ක තානාපති ලෙස සේවය කරන ලදී. ඒම කාලයේදී මා කල සේවය ඇගයීමේ ප්‍රතිපලයක් ලෙස 2013 වර්ෂයේ දී රුසියානු සමුහාණ්ඩුවේ කුර්ස් විශ්වවිද්‍යාලය විසින් මා වෙත මහාචාර්ය ගරු තනතුරක් පිරිනම ලදී.

පසුගිය වසර 35ක ආසන්න කාලයක් නොකඩවා යුක්‍රේනය, රුසියාව, එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ජීවත්වූ මා කොමර්ෂල් බැංකුවේ හා හොංකොං ෂැන්හයි බැංකුවේ අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) ආරම්භ කරන ලද්දේ 1991 වර්ෂයේය. එම කාලයේදී ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත එම මුදල් මාගේ ගිණුම්වලට බැර කර ඇත. එසේම යුක්රේනයේ හා රුසියාවේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයකු ලෙස රැකියාවකින් හා ව්‍යාපාර වලින් උපයන ලද ධනය, ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) වල වසර 35ක ට ආසන්න කාලයක් විදේශ විනිමය ලෙස තැන්පත් කිරීම ද නීති විරෝධි ක්‍රියාවක් ලෙස මා දකින්නේ නැත.

එසේ නමුත් 2015 අප්‍රේල් 27 දින කොමර්ෂල් බැංකුවේ මගේ ගිණුමක් අවලංගු කර එම මුදලට, උදයංග වීරතුංග යන මගේ නමට චෙක්පත් නිකුත් කරණ ලෙස කල ඉල්ලීම සැකසහිත ගනුදෙනුවක් බවට, නිට්ටඹුව ශාඛාවේ හිටපු කළමනාකාරිය, ශ්‍රියා කොඩිසිංහ විසින් සිදුකල ප්‍රෝඩාකාරී කූට පැමිණිල්ලක් මත සියලුම ගිණුම් අත්හිටුවීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හරහා පියවර ගත්තේය. නමුත් වසර 15 වැඩි කාලයක් නිට්ටඹුව ශාඛාවේ සාර්ථක බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මොහොතක ශ්‍රියා කොඩිසිංහ විසින් ගිණුම් අත්හිටුවීමට පොලිසිය සමග එකතුවී පට්ටපල් බොරු නිර්මාණ කරමින් මට එරෙහිව සිදුකල අසත්‍ය චෝදනා හුදෙක් යහපාලන දේශපාලන පළිගැනීමකි.

පසුව 2015 අප්‍රේල් 29 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උදයංග වීරතුංග යන නමට ඇති සියලූම ගිණුම් තාවකාලිකව අක්‍රිය කරන ලදී. එසේ නමුත් එම කාලය තුල මා කිසිදු අධිකරණයකින් සැකකරුවකු ලෙස හෝ නම්කර නොතිබුණු අතර මෙම ගිණුම් අත්හිටුවීමට කිසිදු අධිකරණ නියෝගයක් නොතිබුණි. පවුලේ එකම ආදායම්ලාභියාගේ ගිණුම් අක‍්‍රීය කිරීමෙන් පාසලට මුදල් ගෙවීමට බැරි වීමෙන්, දරු දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතු වී ඇති අතර, මාස්පතා කරන සියලූ ගෙවීම් වසර 5 වැඩි කාලයක්‌ නතර කර අප පවුලේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පෙන්නුම් කරමි.

තවද වසර 5 කට පෙර මෙම කරුණු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහා බැංකු අධිපති, මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂ හා කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂකට යවන ලද ලිපි සදහා මෙතෙක් කිසිදු පිළිතුරු ලැබී නැති බවත්, තම ගනුදෙනු කරුවන්ගේ ගිණුම් සැක සහිත බවට FCID වෙත එදා ඔත්තු සැපයු බැංකුවක් බව කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන් දැනගත යුතුය. පසුව බී/639/15 නඩුව ප‍්‍රකාරව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද උසාවි නියෝගය මත 2017 ජනවාරි 04 දින උදයංග වීරතුංග නමට ඇති සියලූම ගිණුම්වල ගනුදෙනු නැවත දන්වන තුරු අත්හිටුවීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කරන ලදී.

යහපාලන රජය යටතේ ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා මහබැංකුව එකතුව පුරා මාස 64 ක් පරීක්ෂණ සිදුකර ඇති නමුත් මිග් යානා ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුමට බැර කර ඇති බවට කිසිදු සාක්ෂි නොමැතිව, සිදුකරන සියලු චෝදනා හුදෙක් දේශපාලන පළිගැනීම් බව ගරු කොමිෂන් සභාවට ඉතා ගෞරවයෙන් අවධාරණය කරමි.

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු අවසර

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබීය. පෙත්සම යළි මේ මස 29 දා කැඳවේ.
තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියේය.
ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කර තිබේ.

දෙමළ මන්ත‍්‍රීවරු පිරිසක් ආණ්ඩුවට

රජය විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු රජයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසේ.
දමිළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පලනි තිගාම්බරම්, එම සන්ධානය නියෝජනය කළ කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාකි‍්‍රෂ්ණන් ඇතුඵ හිටපු ඇමැතිවරු කිහිපදෙනෙකු රජය ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දිය යුතු ද නැති ද සහ රජයට එක්විය යුත්තේ කුමනාකාරයෙන් දැයි මේ වන විටත් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයි ද මෙම ආරංචි මාර්ග වල සදහන් වේ.
දමිළ දේශපාලන පක්ෂ මන්තී‍්‍රවරුන්ට අමතරව සමගි ජන බලවේගයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ තවත් සුළු පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු පිරිසක් ද රජයට එක්වීමේ සූදානමක් පවතින බවත් ඒ වෙනුවෙන් ද මේ වන විට ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි පැවසේ.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව මන්ත‍්‍රී ධුර හයක් දිනා ගත් දමිළ ප‍්‍රගතශීලි සන්ධානය නියෝජනය කරන මන්තී‍්‍ර කණ්ඩායම තමන් රජයට සහාය ලබා දෙන්නේ කුමනාකාරයෙන් දැයි තීරණය කිරීම වෙනුවෙන් ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
Ashanthi Warunasuriya

ඇමතිවරුන් නිල නිවාස ඉල්ලයි

නව පාර්ලිමේන්තුවට පත් වී සිටින කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් 70 දෙනෙකු පමණ පිරිසක් නිල නිවාස ඉල්ලුම් කර තිබෙනවා.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සතුව මෙතෙක් පවතින්නේ නිල නිවාස 35ක් පමණ ප්‍රමාණයකි.
අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරන්නේ එම ප්‍රමාණය ඉල්ලුම්කරුවන් ගේ උවමනාව දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාවය අනුව ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවයි.

ඇමරිකානු තානාපතිනිය සහ සම්පන්ධන් අතර හමුවක්

දෙමළ ජතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්ධන්ගේ ත්‍රිකුණාමලයේ නිවසට පැමිණි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු ද මෙහිදී සාකච්ඡාවට භාජන වී තිබේ.

පළමු පාර්ලිමේන්තුවේ වෙනස් කම්. මන්ත්‍රීවරුන්ට චිරිබිරි කතා බැහැ

ලබන බ‍්‍රහස්පතින්දා (20) පැවැත්වෙන 09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ සිට සියළු මන්ත‍්‍රවරුන්ට සෞඛ්‍ය රීති මාලාවක් පැනවීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන සියලූ මන්ත‍්‍රීවරුන් මුඛ ආවරණය අනිවාර්යෙන්ම පැළඳිය යුතු බවයි. එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගමන් කිරීමේදී අනිවාර්යයෙන්ම මීටරයක පරතරය තබාගත යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
එමෙන්ම මන්තී‍්‍රවරුන්ට ඒකරාශි වී සාකච්ඡා කිරීමට හෝ සතුටු සාමීචියේ නිරතවීමට මෙවර පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් නොලැබෙන බව පැවසෙනවා. ඉතිහාසයේ පළමුවරට මෙවර පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් ලියාපදිංචි කිරීම සිදුකළේ ද ඔන්ලයින් ක‍්‍රමයටය. ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත‍්‍රිවරුන්ගෙන් 223 දෙනෙකුම මේ වනවිටත් ලියාපදිංචි වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර සඳහා පත්කෙරෙන සභිකයින් දෙදෙනා පමණක් මෙතෙක් නම් කර නැහැ. ඒ, එම පක්ෂ 02 තුළ මතුව ඇති අභ්‍යන්තර ගැටලූ කීපයක් මුල් කරගනිමින්.
පළවෙනිම කාරණය කථානායකතුමා තෝරා ගෙන ඉන් පසුව මන්ත්‍රිවරුන් දිවුරුම්දීම සිදු කිරීමට නියමිත අතර පළමු දවසේදී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රිවරුන්ට ඕනෑම ස්ථානයක නිදහසේ අසුන් ගැනීමේ හැකියාව ලැබෙන අතර පසුව කතානායකවරයා විසින් අදාළ සියලු මන්ත්‍රිවරුන්ට නියමිත ආසනයක් වෙන් කර දෙනු ඇති.