IMF දෙන ණය ආධාරවලින් විතරක් රටේ ප්‍රශ්න විස‍ඳෙන්​නේ නැහැ – අලි සබ්‍රි

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් ලබාදෙන ඇමෙරිකානු ‍ඩොලර් බිලියන 2.9කින් පමණක් රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ එමඟින් මෙරටට දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යව තිබූ ජනප්‍රිය නොවන එහෙත් ගත යුතුව තිබුණු තීන්දු තීරණ ගැනීමට හැකි වතාවරණයක් සැලැසෙන බවයි.

ඒ හා සමානවම රට සම්බන්ධයෙන් පොදුවේ ජාත්‍යන්තරය මීට වඩා වැඩි විශ්වාසයක් ඇතිවන බවත්, එමඟින් යම් ස්ථානයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

යුක්රේනයේ හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙකු ඇතුළු 18 කට දිවි අහිමි වෙයි

යුක්රේනයේ කිව් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව BBC වාර්තා කරනවා.

මෙලෙස මිය ගිය Denys Monastyrsky අමාත්‍යවරයා යුක්රේනයේ සටන් වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම හෙලිකොප්ටර් යානය යුක්රේන හදිසි ඒකකයන්ට අයත් එකක් වන අතර එය කඩාවැටෙන අවස්ථාවේ දැඩි මීදුම් ස්වභාවයක් පැවති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් ඇති කිරීමට ​ඇමෙරිකාව උත්සාහ කරනවා – චීනය

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවලදී චීනය කඩාකප්පල්කරුවෙකු ලෙස කටයුතු නොකරනු ඇතැයි කියා තමා සිතන බවට අමෙරිකානු තානාපති ජුලි චන්ග් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පළ කර තිබෙනවා.

එහිදී ඔවුන් චෝදනා කර සිටින්නේ ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට අමෙරිකාව උත්සාහ කරමින් සිටින බවයි.

සැබෑ කඩාකප්පල්කරු කවුරුන් ද යන්න වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවද මෙරට චීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

පුනරුත්ථාපන පනතෙන් අරගලකරුවන් මර්දනය කරන්නේ නැහැ – විජේදාස රාජපක්ෂ

පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත හරහා අරගලකරුවන් හෝ විරුද්ධවාදීන්ට මර්දනය කිරීමට උත්සාහ කරන බවට වන චෝදනා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළා.

එහිදී මුල් පනත් කෙටුම්පත තුළ නොමඟ ගිය අය සහ සටන්කාමීන් ලෙස අර්ථ ගන්වා ඇත්තේ එල්.ටී.ටී.ඊ. සටන්කාමීන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පාස්කු සිදුවීමේ දී එම අන්තවාදී සමඟ කටයුතු කොට අන්තවාදී මත දැරූ තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීම සිදු කරන බවත්, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇතුළත ක්‍රියාත්මක කිරීමට හැකි කටයුතු පමණක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදි නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවෙකු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව අධිකරණයට දැනුම් දුන්නා.

 

වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (17) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහුගේ ඇප අයැදුම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

 

වසන්ත මුදලිගේ නිදහස් කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන 7 කින් නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කළ යුතු බවට මානව හිමිකම් සංවිධාන 7 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඔහු රඳවා තබා ගැනීම දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි ඔවුන් සිය නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2022 අගෝස්තු 18 වනදා අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ මේ වන විට දින 150 ක කාලයක් රඳවා තබාගෙන ඇතත් ඔහුට එරෙහිව කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නීතිය හමුවේ ඔප්පු කිරීමට බලධාරීන් අසමත්ව ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් උල්ලංඝනය කරමින් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දින දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිතාව ලක් කළ බවට චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

විධායක රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවන දිනය පමා කිරීමට තීරණයක්

විධායක ශ්‍රේණියේ නොවන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප් දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

2023 වසරේ රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවත් එමඟින් ජනනය වන ආදායම් රැස්කිරීම සඳහා යම් කාලසීමාවක් ගතවන බැවින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

1)

අඩු ආදායම්ලාභීන්ට දෙන මුදල් සහනය තවත් මාස 5කින් දීර්ඝ කෙරේ

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන මුදල් සහනය තවත් මාස 5 ක කාලයක් දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව මැයි මාසයේ සිට එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා එම මුදල ලබා දීමට තීරණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ආරම්භ කරන තෙක් මෙම සහනය ලබාදීමට නියමිත බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

8e56da6bfb76737272cf11bd3e0c2669