නානුඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුරක්

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් බවයි සඳහන් වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මේ වන තෙක් අනාවරණයවී නොමැති බවයි සඳහන් වන්නේ.

බිත්තරයක උපරිම මිල පාලනය කෙරේ

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46 ක් ලෙස අදාළ ගැසට් නිවේදනය මඟින් මිල නියම කර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ.

සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කරයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (21) දිනයේ පස්වරු 4.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී අවසන් කටයුතු සිදු කෙරෙන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

fb893d35e8e8b4152dbb8be95dd0bcac

සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක විය යුතුයි – එස්. ජයිශංකර්

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවස්ථාව ලබාදීම සඳහා ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය මූල්‍ය සහතිකය ලබාදුන් බවයි.

එසේම බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් වැනි මූලික ක්ෂේත්‍රවල ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි ආයෝජන සඳහා ඉන්දියාව කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් මැතිවරණ කඩිනමින් පැවැත්වීම යන කාරණා බලය බෙදීම සහ ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් බවද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.

පාසල්වල තෙවන වාරයේ 02 වන අදියර හෙටින් අවසන් වෙයි

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ 02 වන අදියර හෙට (20) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ 02 වන අදියර පෙබරවාරි 06 වන සඳුදා දින අවසන් වන අතර සියලුම පාසල්වල තෙවන වාරයේ 03 වන අදියර පෙබරවාරි 20 වන සදුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් හමුවීමට නියමිතව තිබෙනවා.

සතොස භාණ්ඩ 12 ක මිල පහළ දමයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස ආයතනය පවසනවා.

ඒ අනුව අද සිට එම මිල අඩු කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

12c8d26b196a89c826ac46ef043f7fd5

ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා A වෛරස ප්‍රභේදය දිවයින පුරා පැතිරගොස් ඇති බවට සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දිවයින පුරා රෝහල් 19 ක බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගෙන් ලබාගත් සෙම පටල පරික්ෂාවේදී මේ බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කුරුණෑගල, පොළොන්නරුව, හලාවත, රාගම හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල්වලින් බවයි සඳහන් වන්නේ. ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, ඇඟපත වේදනාව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතාව පවතින අතර එම රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උප‍දෙස් ලබා ගන්නා ලෙසයි වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ.

සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදරණීය බිරිඳ වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසු වුණා.

ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, වෛශ්නාවී ආදී චිත්‍රපට රැසක් ඇය විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 (2022) වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk ඔස්සේ එම ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තිබෙනවා.

2021 (2022) වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 27,012 දෙනෙකු ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම් කර තිබුණා.