මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (06) ට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ බවයි සඳහන් වන්නේ.

යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම. රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම. එමෙන්ම දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වීම, මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්වීමද අද වැනි දිනක සිදුවී ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධාන කර තිබෙනවා.

මහනුවර-මහියංගනය මාර්ගයේ වසා දැමූ කොටසේ එක් මංතීරුවක් විවෘත කෙරේ

මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුව ආසන්නයේ තාවකාලිකව වසා දැමූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට විවෘත කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ නායයෑම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබුණා.

මහනුවර වැටලීමකදී කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට

මහනුවර, බෝගම්බර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකදී කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එහිදී සැකකරුවන් 06 දෙනෙකු සහ සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 265ක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් අවුරුදු 26ත් 52ත් අතර වයස්වල පසුවන හීරැස්සගල, සුදුහුම්පොළ, මහයියාව, මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 24ත් 49ත් අතර වයස්වල පසුවන කටුගස්තොට සහ රෝහල් පටුමග ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව සඳහන් වන්නේ.

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයෙන් මහ බැංකුවට ඉල්ලීමක්

ලීසිං සඳහා දඩ පොලී අය කිරීම සහ අනාගත පොලී අය කිරීම නතර කිරීම සඳහා මැදිහත් වන ලෙස ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය මහ බැංකුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව එහි සභාපති අසංක රුවන් පොතුපිටිය සඳහන් කළේ, ගෙවා ගැනීමට නොහැකි වූ ණය මුදල් මාර්තු 31 ට පෙර ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු නොකර දඩ පොලිය 100% ක් අය කරන බවයි.

දඩ පොලී අය කිරීම, අනාගත පොලී අය කිරීම හා වාහන SEIZE කරන ආයතනවලට එරෙහිව මාර්තු 31 ට පෙර ආයතන අත්හිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කරයි

මාර්තු මාසයේ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව පවතින මිල යටතේම ගෑස් අලෙවිය සිදු කරන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.

මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල වැඩි වීමක් සිදුවිය යුතු වුවද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීම හේතුවෙන් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය දැනුවත් කිරීමට සහ යෝජනා ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාවේදී නව නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිදුකළ හැකි ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමේ

මහනුවර- මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

නායයෑමක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ් අනුව මහනුවර- මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14වන වංගුව ආශ්‍රිතව මෙලෙස නායයාමක් සිදුව තිබෙනවා.

ඔහොම යමු ගිහින් බලමු කවුද මේ සෙල්ලමෙන් දිනන්නේ කවුද කියලා – ළහිරු වීරසේකර

විදුලිබිල වැඩි කිරීම හමුවේ ඉදිරියේ දී සේවා රැසක මිල ගණන් ඉහළ යාමට නියමිතව ඇති බව Youth For Change සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු විරසේකර පවසනවා.

ලබන සතියේ දී මෙරට වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සියලු දෙනා විරෝධතාවයකට පෙළ ගැසෙමින් සිටින බවත්, ජනතාව රටපුරාවටම විරෝධතාවයන් සඳහා පැමිණෙමින් සිටින බවයි ළහිරු වීරසේකර පවසන්නේ.

තමන්ට වාසි මැතිවරණය ‍මොකක්ද යන්න පිළිබඳවත්, තමන්ට දිනන්න පුළුවන් මැතිවරණය මොකක්ද යන්න පිළිබඳවත්, වාසි සහගතවම ලබාගත හැකි මැතිවණය මොකක්ද යන්න පිළිබඳවත් ආණ්ඩුව ගණන් බලමින් සිටින බවයි ඔහු කියා සිටින්නේ.

මුළු රටක ක්ෂේත්‍ර රැසක පිරිස් ආණ්ඩුවට විරෝධය පළ කරද්දී ආණ්ඩුව ඒවා විහිළුවට ගෙන ඇති බවත්, මෙලෙස ගොස් මෙම සෙල්ලමෙන් දිනන්නේ කවුද යන්න පිළිබඳව බලාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාද වෙලා – ලංකා ගුරු සේවා සංගමය

උසස් පෙළ විභාගය අවසන් වී සති 02ක කාලයක් ගතවුවද ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසනවා.

මීට අමතරව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි.

කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තුව පවසා තිබුණේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම මාර්තු මස 8 වනදා දක්වා සිදුකරන බවයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්

අද (04) පස්වරු 02.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ 01 සිට 04, කොළඹ 07 සිට 11, කඩුවෙල නගරය සහ ඒ අවට කොලොන්නාව නගර සභා ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.