විභාග කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කරයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යළිත් විභාග කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් වැඩ වර්ජනය අවසන් කරනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

ඒ අනුව ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට එච්චර අඳුරු නෑ, අනාගතය සුබයි – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් කිසිදු කරුණක් ජනතාවට වසන් නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ ගිවිසුමේ සුවිශේෂ තත්ත්වයක් තිබෙන බවත් ශ්‍රී ලංකාවට මෙවර විශේෂ අරමුදල් පහසුකම් යටතේ රාජ්‍ය අයවැයේ මූල්‍යකරණය සඳහා මේ ණය පහසුකම් භාවිතා කිරිමට අවසර ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයාත්, ශ්‍රී ලංකා මහ බැංකුවත්, මුදල් අමාත්‍යාංශයත් එයට අදාළ වන සියලුම පාර්ශ්වයන් විශාල කැපකිරීමක් කර රට අගාධයට හා මහා ව්‍යසනයකට යාමට තිබූ අවස්ථාව වළක්වා ගෙන තිබෙන බවත් තෙල්, ගෑස්, බෙහෙත් නොමැතිව සියලුදෙනාම ඇණ කොටාගෙන විනාශ වන තත්ත්වයක් නිර්මාණයවීමට ඉඩ තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

රටේ ජනතාව පවතින අවදානම තේරුම් ගෙන රට වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව අනුමැතිය ලබාදුනහොත්, හෙට එතරම් අඳුරු නොවන බවද අනාගතය සුබ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස සලකන්නේ නැහැ – ජනපති

විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් ඇති බවට සහතික කර ඇති බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස නොසලකන බව හා එම නිසා සාමාන්‍ය ගණුදෙනු ආරම්භ කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

විදේශ විනිමය තත්ත්වය දියුණුවීමත් සමඟ ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කර්මාන්තයට අවශ්‍ය දෑ පළමු වටයේ ආනයන සීමා ලෙස ලිහිල් කිරිමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

IMF පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදා හැරේ

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඒ යටතේ ඩොලර් මිලියන 333 ක් මෙරටට නිදහස් කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Peter Breuer සඳහන් කළේ.

මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (20) අනුමැතිය ලබා දුන්නා.

මැතිවරණ කල් දැමීමට කිසිවිට නිර්දේශ කර නැහැ – IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටෙක නිර්දේශ කර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටෙක පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් සිදුකළ හැකි දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ අවශ්‍යයි – ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් සිදුකළ හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසනවා.

ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසාර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝගවලට මුහුණදී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් හිමිකාරීත්වයක් සහිතව විස්තීරණ අරමුදල් පහසුකමට සහාය දක්වන වැඩසටහන කඩිනම් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි ඇය පෙන්වා දෙන්නේ.

මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා බැංකු ප්‍රාග්ධනීකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවත්, දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව දූෂණය මැඩලීමේ අඛණ්ඩ උත්සාහයන් අඛණ්ඩව පැවතිය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

18 වංගුව මාර්ගය යළි වසා දැමේ

මහනුවර-මහියංගනය මාර්ගයේ දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා දහඅට වංගුව ආශ්‍රිත මාර්ගය වසා තැබෙන බවයි මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ.

පස් කඳු සහ ගල් කඩාවැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය ඊයේ (19) තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර අද උදෑසන එය යළි විවෘත කළා.

අලි අගල් කැපීමට එරෙහිව වාරණ නියෝගයක්

වනජීවී සංරක්ෂණ කලාපවල අලි ඇතුන් ගම්වැදීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමට හිටපු වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගෙන තිබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් පිරිසක් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අගල් කැපීම නිසා කුඩා සතුන්ට මෙන්ම ගස්කොළන්, ජල පෝෂක ප්‍රදේශ වලටද දැඩි හානි සිදුවන බවයි පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා ඇත්තේ.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් එහි විභාගය සඳහා සැප්තැම්බර් 22 වනදා පැවැත්වීමට නියෝග කර තිබෙනවා.

සටන් ක්‍රියාමාර්ගවල වෙනසක් නෑ – GMOA

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කරන ලද සටන් ක්‍රියාමාර්ගවල වෙනසක් සිදුව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා. ඒ අනුව පවතින තත්ත්වය මත මෙම ගැටලුව විසඳීමට සඳහා ආණ්ඩුවට අවස්ථාවක් ලබාදී ඇති බවත් ආණ්ඩුව එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා. මේ සතියේ ජනාධිපති සමග සෘජු සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

18 වංගුව මාර්ගය නැවත විවෘත කෙරේ

පස් කඳු සහ ගල් කඩාවැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව විවෘත කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට මාර්ගයට වැටුනු පස් හා ගල් ඉවත් කර ඇති අතර එය යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.